ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබදව පෙත්සම සළකා බැලීම අනිද්දා

(කොළඹ, ලංකාපුවත්) – ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනුකර ඇති පෙත්සම ලබන මස 02 වනදා එනම් අනිද්දා දිනයේදී පෙරවරු 9.30 ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා පත්‍ර භාර දෙන බවට තොරතුරු වාර්තා ඇති නිසා නාමයෝජනා භාර ගැනීම ලබන 07 වනදා සිදු කිරීමට නියමිත හෙයින් මෙම නඩුව හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙන් සලකා බලන ලෙසයි.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම නඩුව ද්වේශ සහගත අරමුණකින් ගොනු කර ඇති බවත් එහි සඳහන් චෝදනා පදනම් විරහිත බවත් සඳහන් කළ අතර එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාග කරන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ මෙම නඩුවට භාජනය වන කරුණ දේශපාලනමය වශයෙන් සංවේදී කරුණක් හෙයින් මෙම පෙත්සම සලකා බැලීම ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කිරීම සුදුසු බවයි.

ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 02 වනදා සලකා බැලීමට දින නියම වුණි.

එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආගමන සහ විගමන පාලක ආර්. එම්. එස්. කේ. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද අධිකරණ නියම කළේය.

මෙම නඩුවට පාදක වන ලේඛන තිබේනම් ඒවා අද පස්වරු 2.30 ට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද එම නියෝගයේ සඳහන් වුණි.

මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියේය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි කියා සිටින්නේ.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *