හරිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා දැඩි අවධානයක්

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ විපර්යාස හා ගැටලු වලට ප්‍රමුඛතාව ලබා දෙමින් හරිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා දැඩි අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය වසර තුන හමාරක කාලය ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව ස්ථාපිත කිරීම ඇතුලු ගැටලු රැසකින් රජයේ න්‍යාය පත්‍රය පිරී තිබූ බවත් මේ වන විට කාලගුණ විපර්යාස හා ගැටලු වෙත සම්පූර්ණ අවධානය යොමු කිරීමේ අවකාශය තිබෙන බවත් අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(30) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා,

කාලගුණ විපර්යාස අද දින ගෝලීය ගැටලුවක් බවට පත් වී තිබෙනවා. ලොව පුරා විවිධ කොටස් වල විශාල වෙනස් කම් අපට දකින්න ලැබෙනවා. එය අද විශාල අභියෝගය බවට ද පත්වී තිබෙනවා. පැරිස් ගිවිසුමට එළඹෙමින් කාලගුණ විපර්යාස පිළිබඳ ගෝලීය අවධානය යොමු ඒ වෙත යොමු කිරීමට කටයුතු කළා. අවාසනාවට එය ප්‍රමාණවත් වී නැහැ. අවධානය යොමු වන ප්‍රමාණයට වඩා වැඩි ගුණයකින් එය සිදු විය යුතු බව අද අපට අවබෝධ වී තිබෙනවා.

ඒ සඳහා සැලසුම් හා වැඩිසටහන් සමග අපට ඉදිරියට යාමට සිදු වෙනවා. එසේ නොමැතිව අපගේ අනාගතය කාලගුණ විපර්යාසයන්ගේ බලපෑමට ලක් නොවන බවට විශ්වාස කළ නොහැකියි. හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ ප්‍රමුඛත්වයෙන් වගේම බොහෝ නවතම දත්ත හා වාර්තා ඒ සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වුවත් කාලගුණ විපර්යාස පිළිබඳ අවධානය යොමු කිරීම කොතරම් අවශ්‍යද යන්න වර්තමාන බලපෑම් දැකීමේ දී වටහා ගත හැකියි. මෙ‍හිදී මූළිකවම පරිසර දූෂණයේ ප්‍රධාන සාධක හඳුනා ගත යුතුයි. ඒවා ශක්ති ප්‍රභවයන් බවට පත් කර ගත යුතුයි. රටවල් සංවර්ධන වීම, ජනගහන වර්ධනය , ජීවන තත්ත්වය වැඩි දියුණු වීම ආදියේ දී අපට දූෂණය ඉහළ යන බව හඳුනා ගත හැකියි. මේ සඳහා මට කුඩා උදාහරණයක් ඉදිරිපත් කළ හැකියි. 1979 වසරේ දී මා චීනයේ සංචාරය කරන විට බීජිං හි සියලු දෙනා පා පැදියෙන් ගමන් කරනු දකින්න ලැබුණා. මෝටර් රථයකින් ගමන් කරන අ‍යකු දකින්න ලැබුණේ ඉතා කළාතුරෙකින්. නමුත් මෑතක දී එහිදීම මට දකින්න ලැබුණේ ව්‍යායාම අවශ්‍ය ඉතා සුලු පිරිසක් හැරුණ විට අනෙක් සියලු දෙනා මෝටර් රථ වලින් ගමන් කරන බවයි. මෙම වෙනස ඔබට හොඳින් දැක ගත හැකියි. මේ තත්ත්වය දැන් ඉන්දියාවේත් සිදු වෙමින් පවතිනවා. ශක්ති ප්‍රභවයන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඇතුලු කාලගුණ විපර්යාසයන් කෙරෙහි කෙසේ බලපාන්නේ දැයි වටහා ගැනීමට මෙවන් කුඩා උදාහරණයන් පවා ප්‍රමාණවත්.

මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය ඉලක්ක කරගනිමිනුයි. වසර දෙකකට වරක් ලොව පුරා විවිධ ස්ථාන වල දී මෙම ගැටලුව සාකච්ඡා කරනවා. එමනිසා කාලගුණ විපර්යාසයන්ට එරෙහි සටනේ අභියෝග ජය ගැනීම සඳහා ඔබ විසින් සිදු කරන කටයුතු මේ වෙනුවෙන් සෘජුව බලපානවා.
ශ්‍රී ලංකාවේ අප ඒ වෙනුවෙන් උපරිම කැප කිරීම කිරීමට සූදානම්. ඒ සඳහා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයන් වෙත පූර්ණ අවධානය යොමු කරමින්, සැලසුම් සකස් කරමින් හරිත නගර සංකල්පය වෙත අපගේ අවධානය යොමු කළා. වසර 2015න් පසු නගර සංවර්ධන ක්‍රියාවලිය තුළ එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඉන්දියානු සාගරයේ හරිත දිවයින එම ක්‍රියාවලිය තුළ සැලසුම් කළා. සියලු නරග සංවර්ධන, අන්තර් නාගරික සංවර්ධන කටයුතු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ හරිත සංකල්පය තුළ ක්‍රියාත්මක වුණා. මෙම වැඩසටහන් සමග ඉදිරි සංවර්ධන කටයුතු කිරීමට අප කැප වී සිටිනවා. නගර වෙත පමණක් නෙවෙයි සියලු බලශක්ති පුනර්ජනනීය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. අපගේ ප්‍රවාහන ක්ෂේත්‍රය, අපගේ සියලු ගෘහස්ත විදුලිබල සම්පාදනය, ආදි සියලු කේෂ්ත්‍රයන්හි මෙම පුළුල් සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් රජයට ද විශාල වශයෙන් ඊට මැදිහත් වීමට සිදු වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්නේ කෙසේද? සංහිඳියාව ගොඩ නංවන්නේ කෙසේද? ඉහළ මට්ටමේ ණය ගැටලු මෙන්ම විවිධ ආර්ථික ගැටලු, ආදායම අඩු වීම ආදි කරුණු වලින්ගෙවී ගිය වසර තුන හමාරක කාලය රජයේ න්‍යාය පත්‍රය පිරී පැවැතුණා. කාලගුණ විපර්යාස ආදී ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමට දැන් අපට අවකාශ තිබෙනවා. අනාගතයේ දී කාලගුණ විපර්යාස හා ගැටලු වලට ප්‍රමුඛතාව ලබා දෙන බව මට කිව හැකියි. එය ශ්‍රී ලංකාව වැනි රටකට අනිවාර්යයි. අපගේ අනාගත පරපුර වෙනුවෙන් එය අනිවාර්යයෙන් සිදු විය යුතුයි. අප එය ඉටුකළහොත් කාලගුණය ආරක්ෂකයෙක් ලෙස අපට සහතික කළ හැකියි.

වසර ගණනකට පෙර ජල විදුලිය මත යැපුනත් සූර්ය බල ශක්තිය, එල්. එන්. ජී බලාගාර තුනක් මේ වන විට ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තව දුරටත් වැඩි දියුණු කළ යුතුයි. ජර්මනියේ බලශක්ති අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයා ගනු ලබන්නේ පුනර්ජනනීය බලශක්ති ක්‍රියාවලියෙනුයි. අප‍මේ තත්ත්වය ළඟා කර ගන්නේ කෙසේද? නොසළකා හැර ඇති අවස්ථා ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? ඒ සඳහා ඇති අවස්ථා මොනවාද? මුහුදු රළ ආදි බොහෝ අවස්ථා අප සතුව තිබෙනවා. ඒවා හඳුනා ගෙන ඒ සඳහා ක්‍රියාවලීන් ස්ථාපිත කිරී‍ම කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. අප නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු ගැටලුවලින් සමහරක් වන‍්නේ මේවායි.

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා වශයෙන් පමණක් නෙවෙයි නගර සංවර්ධන අමාත්‍යවරයා වශයෙනුත් විශිෂඨ දැක්මක් ඇති පමණ ඉක්මවා සැලසුම් කළ හැකි අමාත්‍යවරයෙක්. ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ රැසක් හරිත ප්‍රදේශ බවට පත්ව ඇත්තේ මේ අමාත්‍යවරයාගේ සැලසුම් අනුවයි. විශේෂ ආර්ථික කලාප තුළ පරිසර දූෂණයෙන් තොර සංවර්ධනය පිළිබඳ ඔහුගේ සැලසුම් අනුව ක්‍රියාත්මක වැඩිසටහන් අගය කළ යුතු යැයි ද පැවසීය.

ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ සමාරම්භක අවස්ථාව සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ලෝක පුනර්ජනනීය බලශක්ති කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපති විද්‍යා අමරපාල ඇතුලු දෙස් විදෙස් නියෝජිතයෝ විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *