ගෝඨාභයට රට යන්න අවසර

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අවසර හිමිව තිබේ.

ඒ අනුව මේ මස 09 වනදා සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගත වීමට අවසර ලැබිණි.

මෙම නඩුව සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද(03) කැඳවනු ලැබීය.

මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව සඳහන් කර සිටියේය.

ඒ අනුව විත්තිකරුට අදාල කාල සීමාව සඳහා විදේශගත වීමට පනවා තිබූ තහනම ලිහිල් කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.

එමෙන්ම අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් විදේශගතව පෙරළා දිවයිනට පැමිණි පසුව එය අධිකරණය වෙත භාරදිය යුතු බවටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නියම කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − two =