පූජිත්-හේමසිරිගේ බැංකු තොරතුරු රහස් පොලීසියට දෙන්න මුල්‍ය ආයතන 80කට නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම් සිදු කළ බවට සැක කෙරෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර රහස් පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දිවයිනේ පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන 80 කට නියෝග කර ඇත.

ඊට අමතරව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තාද පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් දුරකථන සමාගම් කීපයකට නියම කරන ලදී.

මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවත් ඒ යටතේ පුද්ගලයින් 70 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඊට අමතරව තවත් පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් ඒ යටතේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

මෙම වරද සම්බන්ධයෙන් තවත් උසස් පොලිස් නිලධාරීන් කීහිප දෙනෙකු ඉදිරි දිනවල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් මතු කරමින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කවර විධිවිධානයක් මත දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මිනීමැරීමේ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව පරීක්ෂණ සිදුකළ බව ප්‍රකාශ කළේය.

අනතුරුව පැමිණිල්ල දෙසැම්බර් මස 05 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *