සඳුදා සිට වර්ජන බෑ – මැතිවරණ කොමිෂන් සභාව

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති වකවානුවේදී දේශපාලන දිරිගැන්වීම් කෙරෙන සිද්ධීන් හා වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා වන සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වෙමින් තිබේ.

ඒ අනුව දේශපාලන දිරිගැන්වීම් කෙරෙන බව හැඟවෙන වෘත්තීය ක්‍රියාමාර්ග, සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කර ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමි බව සහකාර මැතිවරණ කොමසාරිස් ස්‍රීන් බොරලැස්ස මහතා පැවසීය.

ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අදාළ වැටුප් සංශෝධන හා රජයේ පත්වීම් යනාදිය අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ සිදු කිරීම නීත්‍යානුකූල වන නමුත් මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවට ආ පැමිණිලි අනුව දේශපාලන දිරිගැන්වීම් කෙරෙන ආකාරයේ රජයේ පත්වීම් අහෝසි කිරීමට කිහිප වතාවක් මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ බවත් ස්‍රීන් බොරලැස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු නීතිඥ මංජුල ගජනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා වැඩවර්ජන දියත් කරන පිරිස් සඳහා සහාය පළ කරන බවයි. තීරණාත්මක මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියා සිදුකිරීම සාමාන්‍ය දෙයක් බවත් එවැනි ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡා පැවැත්වෙයි. එසේම මැතිවරණයේ කටයුතු සඳහා කිසියම් පාර්ශ්වයක් සිදුකරන වැඩවර්ජනයක් බලපාන්නේ නම් ඒ සඳහා සෘජුවම මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත්වීමේ බලයද හිමි වන බව ඒ මහතා පැවසීය.

එළඹෙන 7 වැනිදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම සිදුවන අතර එතැන් සිට ඡන්ද පත්‍රිකා තැපෑලට බාර දීම ආදී කටයුතු සිදුකෙරේ. මෙවන් වකවානුවක මැතිවරණයේ කටයුතුවලට සෘජුවම බලපාන ආකාරයට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමිසමට සෘජුවම මැදිහත් විය හැකි අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ දිනවල පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =