ජනපති අපේක්ෂක සජිත් – එජාප සම්මේලනයේ දී ඒකච්ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ යෝජනාව ඊයේ (03) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේ දී ඒකච්ඡන්දයෙන් සම්මත විය.

අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැමිණ සිටි පිරිසගෙන් යෝජනාවට කැමැත්ත අත් ඔසවා ප්‍රකාශයට පත්කරන ලෙසට පැවසූ අතර යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍යවරයාගේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාය.

එම ‍යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වූයේ එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල සහ පක්ෂයේ ප්‍රතිපත්ති අනුමත කරන සියලු පාර්ශ්වයන් හා පුද්ගලයන්ගේ සහයෝගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමයි.

‍යෝජනාවට සියලුමදෙනාගේ කැමැත්ත මෙහිදී හිමිවුණි.

මෙම ඓතිහාසික යෝජනාව සභාව හමුවේ තැබූ අවස්ථාවට හේමා ප්‍රේමදාස මහත්මිය කැටුව වේදිකාවට පිවිසි අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමේ පක්ෂයේ තීන්දුව එතුමිය ඉදිරියේ ප්‍රකාශයට පත්කෙරිණි. මෙහිදී අග්‍රාමාත්‍යවරයාව වැලඳගෙන ප්‍රේමදාස මහත්මිය තම කෘතඥතාව පළ ක‍ෙළ් සතුටු කඳුළු නඟමින්ය. තවත් යෝජනා පහක් මෙහිදී පක්ෂයේ මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් පිරිසගෙන් කැමැත්ත විමසීමේදී එම යෝජනා පහටත් මෙහිදී පැමිණ සිටි සැවොම කැමැත්ත පළ කළහ.

එම යෝජනා පහ මෙසේය.

බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණය සහ අගමැතිවරයාගේ එකඟත්වය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ඇතුළුව වර්තමාන රජය විසින් ආරම්භ කර තිබෙන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැපවීම සහ සියලුම පාර්ශ්වයන් මේ පිළිබඳව දක්වන අදහස් සැලකිල්ලට ගැනීම.

පක්ෂ ව්‍යවස්ථාවේ 8 (1) (අ) වගන්තියට අනුව පක්ෂ නායක ධුරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීම.

ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මඟින් දින පනස්දෙකක කාලය පුරා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව බලයෙන් ඉවත්කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාපිළිවෙත පිළිකුලෙන් මෙම සම්මේලනය හෙළා දැකීම, එම අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැපවූ ජනතාව වෙත සිය ප්‍රසාදයත් ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අරභයා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දු වෙත ඇගැයීමත්, එකී කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට, මහජන අයිතීන් තහවුරු කිරීමට නොබියව හා නොපැකිලව ක්‍රියා කළ කතානායක කරු ජයසූරිය මහතා වෙත ගෞරවනීය ආචාරය පුද කිරීම. සුළුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් මඟින් දේශය ඉදිරියට ගෙනයාමේ අභියෝගාත්මක වෑයමෙහි නිරත වෙද්දී යම් අගතිගාමි දුෂ්ට බලවේගයන්ගේ බලපෑම් මතුවන බවත් එම බලපෑම් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට පාදක වන බවත් අවබෝධක‍රගෙන තිබෙන මෙම සම්මේලනය එම සකලවිධ දුෂ්ට බලවේගයන් යටපත් කළ හැකි අන්දමේ බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීමට එළඹෙන ජනාධිපතිවරණය පිමි පුවරුවක් කර ගැනීම.

දේශපාලන පළිගැනීම්වලට ලක්වුණ පාක්ෂිකයින්ට වන්දි ගෙවීම, වන්දි ගෙවීමට සැලසුම් සකස් කිරීම, අගය කිරීම, ඇතමුන්ගේ පැමිණිලි අස්ථානගත වී තිබෙන නිසා ඒ අයට පැමිණිලි ඉදිරිපත් කිරීමට නිශ්චිත කාලයක් ලබාදීම, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහ පහසු කිරීමට විෂය භාර ඇමැතිවරුන්ට බලය ලබාදීම, ජනාධිපතිවරණයෙන් වසරක් තුළ සියලු දේශපාලන පළිගැනීම් සඳහා සහන කාලයක් සැලසීම එම යෝජනාවන්ට අයත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *