ප්‍රශ්න ඇතිවුණත් කැඩෙන්න නොදී පක්ෂය ඉදිරියට ගෙනාවා

(කොළඹ, ලංකාපුවත්) –පක්ෂ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යම්කිසි කාලයන්හි පක්ෂයේ ප්‍රශ්න ඇතිවුණේ බෙදුනු නිසා බව පෙන්වා දුන් අගමැතිවරයා ඒ සෑම අවස්ථාවකදීම පක්ෂය කැඩෙන්න නොදී ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන ගිය අතර මුහුණ දුන් සෑම පන්දුවාරයකම එක හයේ පහරක් හෝ ගැසූ බවත් නකීය.

එක්සත් ජාතික පක්ෂයෙන් රටේ අනාගතය බාරගැනීමට ජවසම්පන්න, කාර්යශූර තරුණ නායකයන් පිරිසක් බිහිකර ගැනීමට හැකි වී තිබෙන බවත් එහි එක් ප්‍රතිඵලයක් වන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවද අග්‍රාමාත්‍ය වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රට දැවැන්ත සංවර්ධනය කරා ගෙන යමින් මහජන සුබසිද්ධිය උදෙසා කැපවීමෙන් ක්‍රියා කිරීමට හැකි තරුණ නායකයින් රැසක් බිහිකර ගැනීමට හැකිවීම පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, ඒ පිළිබඳව පක්ෂ නායකයා ලෙස තමා සතුටට පත්වන බව ද හෙතෙම පැවසීය.

විශාල අඩුපාඩුවක් පිළිබඳව කනගාටුවෙන් දකින්නේ කාන්තාවක් පක්ෂයේ නායකයන් අතර නොමැතිවීම යැයි ද අවධාරණය කළේය. එම අඩුව සපුරාලමින් ඊළඟ වසර පහ‍ෙළාව තුළ කාන්තාවන්ගේ දායකත්වය ලැබිය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රටේ ජනගහනයෙන් අඩක් වන කාන්තා පරපුර රටේ අනාගතය භාරගැනීමට බෙහෙවින් අවශ්‍ය බව සඳහන් ‍කළේය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දිවංගත වීමෙන් පසුව දේශපාලනයට පිවිසි සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පිවිස, නියෝජ්‍ය ඇමැති, පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ඇමැතිවරයකු ලෙස ක්‍රියාකර මේ වන විට ජනාධිපති අපේක්ෂක ධුරයට පත්වී ජයග්‍රහණය කරන බවත් පැවසීය.

කිසියම් හෝ බෙදීමක් පක්ෂයේ ඇතිකර නොගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සැවොම එක්ව ක්‍රියාකිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ පක්ෂ නායක ලෙස පක්ෂය තුළ කිසිම බෙදීමක් ඇතිවීමට කිසිම අවස්ථාවක ඉඩ නොතබන බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ඊයේ (3) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අවස්ථාවේ දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *