5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල එයි

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂයේ 5 ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (06) දහවල් 12.00ට නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිංහල හා දෙමළ මාධ්‍යයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එසේම එක් එක් අයදුම්කරුවන් දිවයින තුළ හා දිස්ත්‍රික්කයන් තුළ ලබාගත් ස්ථානයද (දිවයින් සහ දිස්ත්‍රික් තරාව) මෙවර ප්‍රතිඵල සමඟ නිකුත් නොකෙරන අතර දිස්ත්‍රික් කඩඉම් ලකුණු පමණක් නිකුත් කෙරේ. ශිෂ්‍යත්ව විභාගය සඳහා පවතින තරගකාරීත්වය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව බොහෝ දරුවන් මුහුණ දෙන මානසික පීඩනය දුරු කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඉහත සඳහන් අයුරින් කටයුතු කරන ලද බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය‍.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 339,410ක් අයදුම් කර ඇති අතර 332,179ක් පෙනී සිට තිබේ. එසේම පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කිරීමටත් ඒ අතුරින් විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීම අනිවාර්යය කිරීම සහ මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 සිට රුපියල් 750 දක්වා ඉහළ දැමීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වසරේදී පියවර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එසේම ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් එළැඹෙන 21 වැනිදාට පෙර සිදු කරන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ පිළිබඳ වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ 011-2784208, 0112- 2784537, 011- 3188350 යන අංක ඔස්සේ ලබාගත හැකිය. කොළඹ හා ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් හට අද (07) පෙරවරු 9.00 න් පසු මෙම දෙපාර්තමේන්තුව පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *