ජනාධිපතිවරණ කාලසීමාවේ ජනපති මෛත්‍රී මධ්‍යස්ථයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි ජනාධිපතිවරණ කාලසීමාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන ස්ථාවරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මහලේකම්වරයා ඊයේ (09) මේ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් සහ රාජ්‍ය ආරක්ෂක, මහවැලි සංවර්ධන සහ පරිසර යන ඇමැතිධූරවල කටයුතු කරන බැවින් ජනාධිපතිවරණ සමයේ දී දේශපාලන වේදකාවෙන් ඉවත් ව සිටීමට ද තීරණය කර ඇති බවත් ජයසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ කාල සීමාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කර ඇතැයි ද හෙතෙම ‍පැවසීය.

නොවැම්බර් 18 වැනිදා තෙක් පක්ෂයේ දේශපාලන කටයුතු ආවරණය කිරීම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා යටතේ සිදු වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *