මුළු රටේම ජනතා ප්‍රශ්න විසඳන පැය 24ම නොනිදන ජනපති ලේකම් කාර්යාලයක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ ජීවත්වන සෑම පුද්ගලයකුම දේශපාලන භේදයකින් තොරව ක්‍රියාත්මක වන සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බළකායේ කොටස්කරුවන් වනවා. ඒ මගින් ජනතාවගේ මූලික ප්‍රශ්න සියල්ල රටේ ජනාධිපතිවරයා සෘජුවම දැනුවත්වී පැය 24ම, දින 365ම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කර ෂිෆ්ට් ක්‍රමයට දිවාකාලයේ සහ රාත්‍රී කාලයේ වැඩකරන්නට වැඩපිළිවෙළක් සකස්කර නොනිදන, ශක්තිමත් ජනතා සේවාවක් ක්‍රියාත්මක කර පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳන ජනාධිපති කෙනෙක් පත්වෙනවා කියා කියන්න කැමති යැයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නිවාස හා ඉදිකිරීම්, සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කියයි.

දවසේ පැය විසිහතරම ආවරණය වන පරිදි ජාතික සංවර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා දිවයිනේ සියලුම සංවර්ධන ව්‍යාපෘතීන් හා ජනතා ප්‍රශ්න අන්තර්ජාලය හරහා ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රගතිය විමසීමට නව වැඩසටහනක් තමා ජනාධිපති වී ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

තම පියා ආරම්භ කළ ජනසවිය ව්‍යාපාරය සමෘද්ධි සහනාධාරයට සමගාමීව යලි ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (13) වැල්ලවාය නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා,

අද මෙම වැල්ලවාය පුරවරයේ සිට ජනතාවට වැදගත් ප්‍රකාශ දෙකක් කරන්න බලාපොරොත්තු වනවා. මාගේ අනාගත වැඩපිළිවෙළ තුළ මේ රටේ ජනාධිපතිවරයා ලෙස මා රටපුරා ක්‍රියාත්මක වන වැදගත් වැඩසටහන් දෙකක් ප්‍රකාශ කරන්න කැමතියි.

ඉන් එකක් වන්නේ ජනාධිපතිවරයා රටටම වැඩකරන පුද්ගලයා ලෙස ජාතික සංවර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් අපි පිහිටවනවා. මුළු රටටම වගකියන, මුළු රටම ආවරණය වන ඒ ජනාධිපති කාර්ය සාධක බළකාය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සෑම උපදිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකකය අපි ස්ථාපනය කරනවා. නවීන තාක්ෂණය තුලින් රටක් පාලනය කරනවිට අප උපයෝගී කරගන්නා E- රාජ්‍ය පාලනය තුලින් දිනපතා සෑම දිසාපති කොට්ඨාසයකම, සෑම ග්‍රාමසේවා වසමකම , සෑම ගම්මානයකම දිනපතා ආරම්භ වන අවසන් වන ව්‍යාපෘතීන් සහ ජනතාවගේ ඉල්ලීම, ජනතා බලාපොරොත්තුව යන මේ සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අධීක්ෂණය කොට ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ තිබුණත් දිනපතාම ගමට සහ නගරයට පැමිණ විශාල සංවර්ධනයක් අපි මෙම වැඩසටහන හරහා ක්‍රියාත්මක කරනවා.

සමහරු හිතාගෙන ඇති 19 වැනි ව්‍යවස්ථාවෙන් පසු රටේ ජනාධිපති කියන්නේ නිකන්ම නිකන් පබයෙක් කියා. මා ජනතාවට කියන්න කැමතියි පඹයෙක් කියන තනතුර පඹ ගාලක පටලවන්න මේ සජිත් ප්‍රේමදාස සූදානම් නෑ. මා මේ රටේ ජනාධිපති ලෙස කශේරුකාව කෙලින් තබාගෙන මහජනතාව බලාපොරොත්තු වන උසස් විශිෂ්ඨ ජනතා සේවාවක් කරන්න කැපවෙනවා කියා ඔබට කියනවා.

ජයග්‍රහණයෙන් පසු අපි පරණ තාලයේ ඉබි ගමණක් නෙමෙයි යන්නේ. අපී සීඝ්‍ර වැඩකටයුතු කරන ගමනක් යන්නේ. ඒ නිසා හැමෝම ලෑස්ති විය යුතුයි මගේ විදියට යන්න, හැමෝම ලෑස්ති විය යුතුයි කැපකරන්න. ඒ නිසා අපි නව කණ්ඩායමක් නිර්මාණය කරනවා. දක්ෂයන්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලන ගමනක් යනවා. දූෂිතයන්ට තැන දෙන්නෙත් නෑ.

මාගේ දෙවන බලාපොරොත්තුව වන්නේ මේ රටේ දුප්පත් ජනතාවට ජනසවිය ලබාදුන්නේ මගේ පියා. එතුමාට හරියාකාරව ජනසවිය ක්‍රියාත්මක කරගෙන යාමට ලැබුණේ නෑ. මා ඒ වෙනුවෙන් මගේ රටේ දරීද්‍රතාවයෙන් පෙළෙන , නැතිබැරිකමින්, දුප්පත්කමින් පෙළෙන සියලුම දෙනාට අද දවසේ ක්‍රියාත්මක වන සමෘද්ධි සහනාධාර වැඩසටහන ඒ විදියටම ක්‍රියාත්මක කරගෙන යන ගමන් එය ශක්තිමත් කරනවා. ඒ අතරතුර මා සමෘද්ධි වැඩසටහන සඳහා තවත් වැඩපිළිවෙළක් එකතුකරනවා. මේ රටේ සැබෑ දුප්පත් පවුලකටම සමෘද්ධි සහනාධාරයට සමගාමීව මගේ පියාණන් ආරම්භ කළ ජනසවිය රටතුළ ආරම්භ කරනවා කියා මා ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය නලින් බන්ඩාර, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදඅාරච්චි, කම්කරු වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ ඌව පළාත්සභා මැති ඇමතිවරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =