ගෝඨාභයට එරෙහි ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුව ජනවාරියට කල් යයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබීම නිසා එම නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබිණ.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් එම නඩුවේ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙසැම්බර් මස 10 වැනිදා විභාගයට ගැනීමට දින නියම කර ඇති බවත් ඒ අනුව මෙම නඩුව විභාග කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කර ඇති බව දන්වා සිටියේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේ ශ්‍ර්ෂ්ඨාධිකරණය මගින් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වනදා තෙක් දීර්ඝ කර ඇති බවයි.

එම නිසා එදිනෙන් පසුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව අද දින නඩුවේ සාක්ෂි විභාගය අවලංගු කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවන ලෙස නියම කළේය. අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂි කරුවන් හතර දෙනකු මුදාහැරීමට නියම කෙරෙනු අතර නැවත දැනුම්දීමක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම සාක්ෂිකරුවන්ට දැනුම් දුන්නේ.

ඉකුත් රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රජයට රුපියල් මිලියන 33.9 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *