සත්ව ගොවිපොළවල ලාභයෙන් 10%ක් සේවකයන්ට ගෙවන්න – දකුණු පළාත් ආණ්ඩුකාර

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සත්ත්ව ගොවිපොලවල මාසිකව ලබන ලාභයෙන් 10% ක මුදලක් ගොවිපොලේ සේවයේ නියුතු කම්කරුවාගේ සිට ඉහලම නිලධාරීයා දක්වා ගෙවන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේ ය.

ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා මෙලෙස නියෝග කළේ අද (15) කැකණදුර සත්ව ගොවිපොලේ නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව එම පුහුණු මධ්‍යස්ථානයේ දී කාර්ය මණ්ඩලය සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

සත්ව ගොවිපොල මාසිකව රුපියල් ලක්ෂ 06 කට ආසන්න මුදලක් ලාභ ලබන බව සාකච්ඡාවේදී අනාවරණය වූ අතර, එම ලාභය එහි සේවයේ නියුතු කම්කරුවාගේ සිට ඉහලම නිලධාරියා දක්වා ගෙවීම සුදුසු බවත්, ඒ තුළින් සේවක කාර්යක්ෂමතාවය නිතැතින්ම වර්ධනය වනු ඇති බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. පුහුණු ආයතනයේ විශේෂ නිරික්ෂනයකට ගිය ආණ්ඩුකාරවරයා එහි අළුත්වැඩියා කටයුතු කඩිනම් කරන ලෙස පළාත් අධ්‍යක්ෂකවරියට උපදෙස් දුන්නේ ය.

තව ද ගොවිපොල වටා නව ආරක්ෂිත වැටක් සවි කිරීමට සේවකයන් කළ ඉල්ලීම පිළිබඳවද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය. සාකච්ඡාව අවසානයේ ගොවිපොලේ පැලයක් රෝපණය කිරීමේ අවස්ථාවට ද ආණ්ඩුකාරවරයා එක්විය.

මෙම අවස්ථාව සඳහා පළාත් අධ්‍යක්ෂක එච්.බී.එස්. රාමනායක මෙනවිය, අතිරේක පළාත් අධ්‍යක්ෂක සුනිල් කෙරමිණියගේ මහතා, පශු වෛද්‍ය නිලධාරී (පාලන / පුහුණු) එම්. පී. කනක්තහේවගේ මිය ඇතුළු පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *