ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමේ නීති පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂා කෙරෙන, ඔවුන් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවන්වලට අනුයුක්ත කර ගත යුතු බවට දැක්වෙන නීති පද්ධතියක් මෙම වසර අවසාන වීමට පෙර සම්පාදනය කරන බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත් තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගන්නා බවද ඇමැතිවරයා කීය.

ඊයේට (15)යෙදුන ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය නිමිත්තෙන් එම අමාත්‍යාංශයේදී පැවති උත්සවය අමතමින් ඇමැතිවරයා මේබව පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

ඇස් පෙනෙන ජනතාව ඇස් නොපෙනෙන ජනතාවට දක්වන උපහාරයක් ලෙස අද මුළු ලෝකයේම මේ සුදුසැරයටි දිනය සමරනවා. ඇතැම් විට ඇස් නොපෙනන උදවියගේ ගති පැවතුම් ඇස් පෙනෙන මිනිසුන්ට වඩා ඉහළින් තිබෙනවා. ඔවුන් සමහර විට ඇස් පෙනෙන ජනතාවට වඩා මොළය පාවිච්චි කර කටයුතු කරනවා. නොයෙකුත් ආබාධ සහිත පුද්ගලයන් ලක්‍ෂ 14ක් 15 ක් අපේ රටේ සිටින බවට අනුමාන කරනවා. ඒත් ඔවුන් සම්බන්ධයෙන් නියමානුකූල දත්ත පද්ධතියක් තවමත් අපට නැහැ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කෙරෙන නීති පද්ධතියක් මා තව මාස දෙකක් යන්නට පෙර අනුමත කර නීතිගත කරනවා. රජයේ සේවයට හෝ පෞද්ගලික අංශයට සේවකයන් බඳවා ගැනීමේදී ඒ සේවකයන්ගෙන් සියයට 3 ක් හෝ සියයට 2 ක් වන ලෙස ආබාධ සහිත පුද්ගලයන් බඳවා ගැනීමට අදාළ නීති අපි එහිදී සම්පාදනය කරනවා. විශේෂයෙන් අපි දෘශ්‍යාබාධිත පුද්ගලයකු ගතහොත් ඔහුගේ කාර්යයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා කඩිසරයි, ඉක්මන්. ඒ වගේම දෘශ්‍යාබාධිත පුද්ගලයන්ටත් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඇතැම් කටයුතු කාර්යක්‍ෂමව කිරීමේ හැකියාවක් තිබෙනවා. රජයක් ලෙස ඔවුන්ට තමන්ගේ කාර්යයන් සඳහා අවස්ථාව ලබා දෙන්නෙ කෙසේද යන්න අපි විමසා බැලිය යුතු වෙනවා.

ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් අශෝක අලවත්ත, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නිලධාරින් මහාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර,
දෘෂ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය, ශ්‍රි ලංකා අන්ධජන සේවා මණ්ඩලය, ශ්‍රි ලංකා දෘෂ්‍යාබාධිත ජාතික සම්මේලනය, සිදුව වෘත්තිය පුහුණු ආයතනය යන ආයතන නියොජනය කරමින් දෘශ්‍යාබාධිත පුද්ගලයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 1 =