මැලේසියාවේ නීතිවිරෝධිව රැඳී සිටින්නන්ට පොදුසමා කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –මැලේසියාවේ රැකියා සඳහා ගොස්, ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේ.

මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ.

වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව මැලේසියාවේ රැඳී සිටින්නන්ට හා විධිමත් ආගමනික මුද්‍රාව නොමැතිව මැලේසියාවේ රැඳී සිටින පුද්ගලයින් සඳහා එරටින් පිටවීම සඳහා මෙම කාලය තුළ ඉල්ලීම් ලිපියක් හා අනෙකුත් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රිංගිට්ස් 700 ක (RM 700) පරිපාලන ගාස්තුවක් ගෙවීමෙන් පසු එරටින් පිටවීමට අවස්ථාව ලබා දෙයි. මැලේසියාවෙන් පිටත්වීම සඳහා ගමන් බලපත්‍රය හා හදිසි ගමන් සහතික වැනි වලංගු ගමන් ලේඛන සහතික කිරීමද මෙම කාලය තුළදී සිදුකරනු ලබන අතර, නැවත සියරට පැමිණිමේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය දින 7ක් තුළ නිකුත් කරනු ලබයි.

මැලේසියාවේ නීතිවිරෝධිව රැදී සිටිමින් සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම පොදුසමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවත දිවයිනට පැමිණිම සඳහා තම ඥාතින් දැනුවත් කරන මෙන් කාර්යාංශය ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මැලේසියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ඇමතීම මගින් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *