ගෝලීය සාගිනි දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ගෝලීය සාගිනි දර්ශකයට (GHI) අනුව ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

එම දර්ශකයේ මධ්‍යස්ථ මට්ටමකට ළඟා වීමට ශ්‍රී ලංකාව මෙවර සමත්ව ඇති බව සදහන් වේ.

ඒ අනුව රටවල් 117ක් අතරින් ශ්‍රී ලංකාව 66 වන ස්ථානයට පැමිණිමට සමත්ව ඇත. ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු සංඛ්‍යාව 17.1කි.

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකය මෙවර නිකුත් කර ඇත්තේ 14වැනි වරටය.

අදාළ රටවල මන්දපෝෂණය, ළදරු මරණ අනුපාතය ඇතුළු කරුණු සැළකිල්ලට ගනු ලබයි. දේශගුණ විපර්යාස සහ සාගින්න අතර සම්බන්ධතාවය ද මෙහිදී අවධානයට යොමු කරනු ලැබේ. ආන්තික කාලගුණයේ බලපෑම ආහාර නිෂ්පාදනයට සහ ආහාර සුරක්‍ෂිතතාවයට බලපාන ආකාරය ද වාර්තාව පැහැදිලි කර ඇත.

පසුගිය වසරේ ශ්‍රි ලංකාව එම දර්ශකයේ 67 වන ස්ථානයේ පසු විය.

සාගිනි දර්ශකයේ අනතුරුදායක මට්ටමේ පසුවන රටවල් 45 අතරට අසල්වැසි ඉන්දියාව ද ඇතුළත්ව සිටින අතර මෙවර ඔවුන්ට හිමිව ඇත්තේ 102 වන ස්ථානයයි.

දකුණු ආසියානු රටවල් අතරින් මියෙන්මාරය 69 වන ස්ථානයේත් නේපාලය 73 වන ස්ථානයේත්, බංග්ලාදේශය 63 වන ස්ථානයේත්, පාකිස්ථානය 94 වන ස්ථානයේත් පසුවේ.

මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, මැදගස්කරය, යේමනය සහ සැම්බියාව ලෝක සාගිනි දර්ශකයට අනුව ඉහලම අනතුරුදායක රටවල් බවට පත්ව ඇත.

ගෝලීය සාගිනි දර්ශකය සැලසුම් කර ඇත්තේ කුසගින්නට එරෙහි අරගලය පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම, රටවල් සහ කලාප අතර සාගින්න මට්ටම සංසන්දනය කිරීම සඳහා මාර්ගයක් සැපයීම සහ කුසගින්න මට්ටම ඉහළ මට්ටමක පවතින රටවල් සහ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙනි. කුසගින්න තුරන් කිරීම උතුම් බව ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *