දෙහිවල දී ඇල්ලු හෙරොයින් ජාවාරම වැලිකඩ බන්ධනාගාරයේ සිට මෙහෙයවලා

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල දී අල්ලා ගත් හෙරොයින් ජාවාරම දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකු විසින් මෙහෙයවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(16) සවස දෙහිවල දී හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 34 ක් වු කසුන් ෂෙහාන් කළුවිතාරණ නැමති මෙම සැකකරු දෙවන අදියර, බඩෝවිට හා පොකුණු පාර , කවුඩාන, දෙහිවල යන ලිපිනයන් දෙකෙහිම පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාගේ නිවසේ දී හෙරොයින් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රතිබිම්බාරාම පාර, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයේ පදිංචි 41 හැවිරිදි විදානආරච්චිගේ නාලක පුෂ්පකුමාර නැමති මෙම සැකකරු දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරන බව පොලීසිය පවසයි.

පසුව ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල සත්ව උද්‍යානය තුළ ඔහුගේ කබඩ් එකක සඟවා තිබු තවත් හෙරොයින් ග්‍රෑම් 400 ක් සොයා ගෙන ඇත. ඒ අනුව මෙම සැකකරුගෙන් සොයා ගත් සමස්ථ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 500 ක් වේ.

මෙම පුද්ගලයා සත්ව උද්‍යානය තුළ හෙරොයින් සඟවා තබා ගෙන ජාවාරම් කළ බවට අනාවරණය වී තිබේ.

අනතුරුව ඉහත සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටුබැද්ද ප්‍රදේශයේ දී සුඛෝපබෝගී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කර තිබේ.

එම මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති අතර, රියදුරු වශයෙන් සිටි මෝල්පේ, මොරටුව ලිපිනයේ පදිංචි අරුමාපුරගේ රනුජ පාලිත රණතිස්ස නැමත්තෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම අවස්ථාවේ එම රියදුරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 68 ක ප්‍රමාණයක් සහ රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් සොයා ගෙන ඇත.

එම සුඛෝපභෝගී මෝටර් රථයේ ගමන්ගත් අනෙක් සැකකරුගේ වන්නේ රුහුණු රිදීගමපාර, පුංචි පල්ලිය අසල, අම්බලන්තොට යන ලිපිනයේ පදිංචි 34 හැවිරිදි සන්සුදීන් මොහොමඩ් ජුනේදීන් නැමැත්තෙකි.

මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මොහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15ක්, පිස්තෝලයක්, මැගසින් 1ක් හා 9mm සජීව පතරොම් 5 ක් සොයා ගෙන ඇත.

ජුනේදීන් නැමති සැකකරු පසුගිය 12 වන දා කටුබැද්ද ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 683 ක් වේ.

මෝටර් රථයක්ද පොලිස් බාරයට ගත් අතර, එම මෝටර් රථය ඉහත 3 වන සැකකරු විසින් කුලී පදනම මත ලබා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *