යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත‍්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු විය.

ශ‍්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස යාපනය පලාලි ප‍්‍රදේශයේ ඉදිකළ මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 කි.

ඒ සඳහා ශ‍්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දිය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවා තිබෙන අතර අදියර තුනක් යටතේ කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප‍්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950ක් අලූතින් ආස්ථරණය කර තිබේ.

ඒ සමඟම ආසන 72ට අඩු Bombardier – 100 වර්ගයේ ගුවන් යානා එහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කෙරෙන අතර, එම ප‍්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ ගුවන් යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිලධාරින් ද සමග යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීම සිදු විය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත ය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක, විජයකලා මහේෂ්වරන්, අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේ මහතා හා ති‍්‍රවිධ හමුදාපතිවරු ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *