පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –රටට අවශ්‍ය පොහොර මේ වනවිට ගෙන්වා අවසන් බවත්, කිසිඳු හිඟයක් නොපවතින බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ හුණුපිටිය රජයේ පොහොර ගබඩාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර ගබඩා වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සමඟම අතුරු බෝග සඳහා ද අවශ්‍ය ප්‍රමාණයට පොහොර ගෙන්වා ඇත.

ඒ අනුව 2019 මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 148, 162ක් ද, ත්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36, 530.54ක් ද, මියුරෙට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 44, 833.5ක් ද රජයේ සමාගම් මඟින් ආනයනය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. 2019 මහ කන්නයේ වී සඳහා භූමි ප්‍රමාණය අක්කර 1,968,147.72ක් වගා කරනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට පෞද්ගලික සමාගම් 13ක් සඳහා පොහොර ගෙන්වීමට හා බෙදාහැරීමට අනුමැතිය ලබා තිබේ.

ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ පොරොන්දු මත පොහොර නොමිලයේ ලබාදීම පිළිබඳව ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදී කරුණු විමසීය. එහිදී අමාත්‍යවරයා සිටියේ නොමිලයේ සමෘද්ධි සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් පොහොර ද නොමිලයේ ගොවීන් වෙත ලබා දීමට හැකියාවක් පවතින බවයි. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකියාවක් පවතිනවා නම් පොහොර ද නොමිලයේ ලබාදිය යුතු බව අමාත්‍යවරයා කීය.

දැනටමත් පොහොර වෙනුවෙන් රජය වාර්ෂිකව බිලියන 35ක මුදලක් වියදම් කරන බවත්, වී සඳහා ඉන් ගොවියෙකුගෙන් යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් සඳහා රුපියල් 500ක මුදලක් ද, අතිරේක බෝග සඳහා රුපියල් 1000ක මුදලක් අය කරන බවත්, මින් රජයට ලැබෙන මුදල රුපියල් බිලියන 3.5ක මුදලක් බවත් එම මුදල රජයට දැරීමේ හැකියාවක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පොහොර පිළිබඳ ගැටළුවක් පවතී නම් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ 011-2034329 ක්ෂණික දුරකථන අංකය අමතා දැනුවත් කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *