ශ්‍රී ලංකාව ‘අළු ලේඛනයෙන්’ ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්, “අළු ලේඛනය” ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇත.

2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සඵලතාව සම්බන්ධව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයීම සඳහා මූල්‍ය කාර්ය සාධක බලකායේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සමාලෝචන කණ්ඩායම (International Cooperation Review Group – ICRG) විසින් ශ්‍රී ලංකාව සමාලෝචනයට ලක් කිරීමට නියමිත බව 2016 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදී. සාකච්ඡා සහ ප්‍රගති සමාලෝචන වාර්තා කිහිපයකට පසුව, ජාත්‍යන්තර සහයෝගීතාව, අධීක්‍ෂණය, නෛතික පුද්ගලයන් හා විධිවිධාන සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය පිළිබඳ ඉලක්කගත මූල්‍ය සම්බාධක (උතුරු කොරියාව සහ ඉරානයට අදාළ) යන කරුණු 4 සම්බන්ධව ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කර ගෙන නොමැති බව මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ ඔක්තෝබර් මස පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායවල දුර්වලතා සහිත රටක් ලෙස මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තුගත කරන ලද අතර, එම දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු කාල රාමුවකට යටතේ වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී. මෙම ලැයිස්තුගත විමෙන් පසුව, මූල්‍ය බුද්ධි ඒකකය අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ලබාදුන් ක්‍රියාකාරී සැලැස්ම නිශ්චිත කාල රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී පියවර ගන්නා ලදී.

2019 පෙබරවාරි මාසයේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී, ශ්‍රී ලංකාව සිය ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බව මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් මූලිකව නිර්ණය කරන ලද අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වාගෙන යනු ලබන බවටද, එමෙන්ම අනාගතයේ දී එම කාර්යයන් තිරසාරව ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවට ද තහවුරු කිරීම සඳහා එතැන් පරීක්‍ෂාවක් නිර්දේශ කරන ලදී. කෙසේ වුවද, 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් 2019 මැයි මසට යෝජිත එම එතැන් පරීක්‍ෂාව කල් දැමීමට සිදුවිය. කෙසේ වුවද, සමාලෝචන කණ්ඩායම විසින්, සැප්තැම්බර් 16 සිට 17 දක්වා කාලය තුළ, ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීම සිදු කරන ලදී. සමාලෝචන කණ්ඩායම, ඉන්දියාව (සම-මුලසුන), ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ජපානය යන රටවල නිලධාරීන් සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායමේ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග සඵලදායීව ක්‍රියාවට නංවා ඇත්ද යන්න ඇගයීම සඳහා පෞද්ගලික අංශය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. තවද, ඉදිරියටත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග තිරසාර මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ඉහළ මට්ටමේ දේශපාලන කැපවීම පවතින බවට සහතික වීම සඳහා සමාලෝචන කණ්ඩායම, මුදල් ඇමති මංගල සමරවීර මහතා සමගද සාකච්ඡා පවත්වන ලදී.

2019 ඔක්තෝබර් මස පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ නිර්දේශ සාකච්ඡාවට බඳුන් කරන ලද අතර, එහිදී ශ්‍රී ලංකාව අළු ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණයට සියලු සාමාජිකයන් අනුමැතිය පළ කරන ලදී. මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් අළු ලේඛනයෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවට ආර්ථිකමය සහ මූල්‍යමය වශයෙන් හිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්‍ෂා කරේ. මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ලබා දුන් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම මෙහෙයවනු ලැබුවේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමන් සහ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් විසිනි.

මූල්‍ය කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම නියමිත කාල රාමුව තුළ සම්පූර්ණ කිරීම සඳහා සියලු පාර්ශ්වකරුවන් විසින් දැක්වූ කැපවීම සහ සහයෝගය මූල්‍ය බුද්ධි ඒකකය විසින් විශේෂයෙන් අගය කරනු ලබන අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග, රට තුළ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරියටත් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ;

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ තන්ත්‍රය වැඩිදියුණු කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මූල්‍ය කාර්ය සාධක බලකායේ පිළිගැනීමට ලක් වන අතර, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ තන්ත්‍රයේ සඵලදායීත්වය ශක්තිමත් කර ඇති බවත්, මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් 2017 නොවැම්බර් මස හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ක්‍රියාකාරී සැලැස්ම සඳහා අවශ්‍ය කැපවීම සපුරාලීමට අදාළ තාක්ෂණික දුර්වලතා මඟහරවා ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන් කරයි. එබැවින්, ශ්‍රී ලංකාව තවදුරටත් මූල්‍ය කාර්ය සාධක බලකායේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අඛණ්ඩ ගෝලීය අනුකූලතා ක්‍රියාවලිය යටතේ අධීක්‍ෂණයට යටත් නොවේ. සිය මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ තන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව ආසියා ශාන්තිකර කණ්ඩායම සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *