කිසිදු ත්‍රස්ත අවදානමක් නැහැ, රට සුරක්ෂිතයි – ජනාධිපති ලේකම්

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බවට ආරක්ෂක අංශ අවධාරණය කර ඇති බවත් ඒ අනුව රට තුළ ත්‍රස්ත අවදානමක් යළි මතුව ඇති බවට පළ වන ප්‍රචාර අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය අවධාරණය කරයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් පසුගියචා (22) අවධාරණය කර ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළ වන එම ප්‍රචාර අසත්‍ය සහ විකෘති කරන ලද ඒවා බවය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් තමන් විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරන චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින්වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහි කැඳවීම්, උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් වර්තමානයේ රට තුළ පවතින බවට අර්ථනිරූපනය කරමින්ද අවභාවිත කරමින්ද ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත් කර ලිපි නිකුත් කර ඇති බවට කරුණු වාර්තා වී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ. රාජ්‍ය ආයතනවලත් ජාතික වැදගත්කමක් ඇති ආයතනවලත් සහ පොදු ජනතාවගේත් ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබෙන බවත් අදාළ නිවේදනයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + eleven =