පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හිටපු පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ඇතුළු ආරක්ෂක සේවාවන්හි ප්‍රධානීන් සිව්දෙනකු මූලික වශයෙන් වගකිවයුතු බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (23) සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති හා ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානි එම මූලික වගකිවයුත්තන් අතරට පත්වන බව වැඩිදුරටත් සඳහන් කළේය. එම වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කතානායකවරයාගේ උපදෙස් හා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුව කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකරන බව ද එම කමිටුව සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී එයට යම් ක්‍රියාදාමයක් මෙම මූලික වගකිවයුත්තන් විසින් සිදු කළේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ හානිය අවම කැර ගැනීමට හැකි වන බව කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. මෙම ප්‍රහාර මාලාවේදී දෙහිවල දේවස්ථානයකට ගෙනගිය බෝම්බයක් පුපුරුවා හැරීමට නොහැකි වූයේ පොලිස් ක්‍රියාදාමයක් හේතුවෙන් බව කමිටුවට සාක්ෂි මගින් අනාවරණය වී ඇති බව සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සියලු බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවට, එහි අධ්‍යක්ෂවරයාට ලැබී තිබීම හා සහරාන්ලාගේ අන්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය 2018 අප්‍රේල් මාසය තෙක් කළ පරීක්ෂණ එම අංශයෙන් ඉවත්කර රාජ්‍ය බුද්ධි සේවාවට ලබාගැනීම මෙහිදී විශේෂ අවධානයට ලක්කර ඇත.

පාස්කු ප්‍රහාර බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ද මෙම වාර්තාවේ 54 වන පිටුවේ සඳහන් කර ඇති බව ද ආනන්ද කුමාරසිරි මහතා පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය දැනුවත් නොවී සිටියද ආරක්ෂක ඇමති හා නීතිය හා සාමය ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කිරීම, හිස්බුල්ලා මහතාගේ වගකීම් විරහිත අදහස් ප්‍රකාශ කිරීම්ද මෙම වාර්තාවේ අවධානයට ලක්වී ඇති බව කමිටු සාමාජික එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඒකමතික යෝජනාවකින් පත්කළ මේ විශේෂ කාරක හමුවේ ජනාධිපති, අගමැති, හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පති ඇතුළු සාක්ෂිකරුවන් 51 දෙනකු සාක්ෂි ලබාදී ඇත.

2019 මැයි 23 දින සිට සාක්ෂි විමසීම් දින 24ක් තුළ මෙම සාක්ෂි කැඳවා ඇති අතර නීතිපතිවරයාද එතුමාගේ නිලධාරින් මගින් සාක්ෂි ලබාදී ඇති බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැනුවත්ව තිබුණද බුද්ධි අංශවල තිබූ අඩුපාඩු හේතුවෙන් හා බුද්ධි අංශ සිය රාජකාරිය නිසි පරිදි නොකිරීම හේතුවෙන් ප්‍රහාරය සිදුව ඇති බවට සාක්ෂි මගින් හෙළිවන බවත් සඳහන් කළ කුමාරසිරි මහතා, බුද්ධි අංශ සිය කාර්ය නිසි පරිදි ඉටු කළේනම් හානිය හෝ අවම කැර ගැනීමට අවකාශ තිබූ බව පෙන්වා දුන්නේය. අඩුම තරමේ කාදිනල්වරයා හෝ පූජකවරුන් දැනුවත් කිරීමට තිබූ බවද සඳහන් කළේය.

ආගමික අන්තවාදීන් පිළිබඳ මුලින්ම දැනුවත් කරන ලද්දේ අලවි මව්ලානා මහතා විසින් බවට අනාවරණය වන බව පැවසූ කුමාරසිරි මහතා, මෙසේ ද පැවසීය.

2013, 2014 වර්ෂවල සිට මෙම ආගමික අන්තවාදය ව්‍යාප්තව තිබෙනවා. පාස්කු ප්‍රහාරයත් සමඟ එය උච්චම ස්ථානයට පත්වුණා. ආගමික අන්තවාදයට සම්බන්ධ පුද්ගලයින් යුද්ධය පැවැති සමයේදී ඔත්තු සේවාවේ යෙදී තිබෙනවා. ඔවුන්ට ගෙවීම් පවා කර තිබෙනවා. යුද්ධයෙන් පසුව මේ අය සම්බන්ධයෙන් පසුවිපරමක් කළේනම් මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. 2018 අප්‍රේල් මාසය වනතෙක් ත්‍රස්ත විමර්ශන අංශය, රාජ්‍ය බුද්ධි සේවාව සහරාන්ලා පිළිබඳව විමර්ශන පවත්වනවා. නමුත් රාජ්‍ය බුද්ධි සේවාව පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය විමර්ශනවලින් ඉවත් කරනවා.

මේ පුද්ගලයින් පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත්ව සිටි බව සාක්ෂි මගින් අනාවරණය වෙනවා. ප්‍රහාරයෙන් පසුව ආමි මොහිදින් අත්අඩංගුවට පත්වන්නේ ඒ දැනුවත් වීම අනුවයි. බුද්ධි අංශ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු හුවමාරු කර නොගැනීම තවත් අඩුපාඩුවක්.

මේ අනුව අපේ කමිටුව නිර්දේශ අටක් ඉදිරිපත් කර තිබෙනවා.

ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ප්‍රතිසංස්කරණය කිරීම, ශක්තිමත් මූල්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කිරීම, ආගමික අන්තවාදය පාලනය කිරීම, අධිකරණ කටයුතුවල ප්‍රමාදයට පිළියම් යෙදීම හා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම, වහබ්වාදයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම, නිවැරදි මාධ්‍ය වාර්තාකරණය, දේශපාලනඥයින් ජනතා වගකිවයුත්තන් ලෙස ක්‍රියා කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එම නිර්දේශ ලෙස සඳහන් කරනවා.

කමිටු සාමාජික රවුෆ් හකීම් අමාත්‍යවරයාට යම් පාර්ශවයක් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් කුමාරසිරි මහතා මෙසේ ද පැවසීය.

කමිටු සාමාජිකයෙක් ලෙස රවුෆ් හකීම් මහතාට කිසිදු චෝදනාවක් ඉදිරිපත්ව නෑ. කමිටුවේ සහයෝගයෙන් කටයුතු කළා. එම චෝදනාවලට එතුමා පාර්ලිමේන්තුවේදී යම් ප්‍රකාශයක් කළා, යැයිද පැවසීය.

කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා,

මේ කාරකසභාව පත්කරන්න පාර්ලිමේන්තුවේ ඒකමතික යෝජනාවක් තිබුණා. ප්‍රධාන විපක්ෂය මේ කමිටුවෙන් ඉවත් වුණා. නමුත් සියලු සාක්ෂිකරුවන් මේ කමිටුවට පැමිණියා. නීතිපති වෙනුවෙන් සාක්ෂි දුන්නා, අගමැතිතුමා, ජනාධිපතිතුමා සාක්ෂි දුන්නා. ආරම්භයේදී ප්‍රශ්න මතුවුවත් පැමිණි සියලු සාක්ෂිකරුවන් මේ කමිටුවේ වටිනාකම් පිළිගත්තා.

මේ සාක්ෂි විමසීම අනුව පූර්ණ වගකීම රාජ්‍ය බුද්ධි සේවාව වෙත යනවා. 2018 අප්‍රේල් මාසේ ඉඳලා ඔවුන් තමයි මේ ගැන විමර්ශනය කළේ. මේ සම්බන්ධයෙන් එක් ආයතනයකට චෝදනා කරන්නේ නෑ. ප්‍රධාන වගකිවයුත්තා රාජ්‍ය බුද්ධි සේවාව. ඔවුන් තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු යම් යම් තැන්වලට විතැන් කිරීමෙන් පමණක් රාජකාරිය ඉටුකළා වෙන්නේ නෑ. අඩුම තරමේ කාදිනල්තුමා හෝ දැනුවත් කරන්න තිබුණා.

මෙම මාධ්‍ය හමුවෙන් පසුව රවුෆ් හකීම් අමාත්‍යවරයා තමන්ට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *