කැෆේ සංවිධානය ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීම දැඩි ලෙස හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට පළාත් 4ක ආණ්ඩුකාරවරුන් සෘජුව මැතිවරණ ව්‍යාපාරයට දායක වෙමින් සිටින බවයි.

ආණ්ඩුකාරවරුන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම් තම තනතුරු වලින් අස්වී එම දේශපාලන කටයුතු වල නිරත විය හැකි බව ද හෙතෙම සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී තමා ස්වාධින වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් ඔහුගේ නියෝජිතයින් ලෙස පත් කළ පළාත් ආණ්ඩුකාරවරුන් පක්ෂග්‍රාහීව දේශපාලනයේ නිරත වීම කිසිසේත්ම සදාචාරත්මක නොවන ක්‍රියාවක් බවද කැෆේ සංවිධානය අවධාරණය කරයි. සිය තනතුරට පෙර යෙදෙන “ගරු” නාමය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුකාරවරුන් කටයුතු කළ යුතු බවත්, පක්ෂග්‍රාහීව දේශපාලනයේ නිරතවන ආණ්ඩුකාර වරුන් සිය තනතුරෙහි “ගරු” නාමය කෙළෙසා ගන්නා බවත් කැෆේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අවධාරණය කරයි.

මේ වනවිට පළාත් සභාවල පාලනය ආණ්ඩුකාරවරුන් සතුව පවතින නිසා එම පළාත් සභාවලට අයත් වාහන, ගොඩනැගිලි, රාජ්‍ය සම්පත් පවා මෙම මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොදාගනිමින් පවතින බවට පැමිණිලි ලැබී ඇතැයි කැෆේ සංවිධානයේ පවසයි. මෙය බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝනයකිරීමක් බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති බව ද අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම පළාත් ආණ්ඩාකාරවරුන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීම පිළිබදව වන පැමිණිලි කැෆේ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 387ක් ලැබී ඇති අතර ඒ අතරින් බහුතරය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් සහ රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + four =