දේශීය කර්මාන්තයට මුල් තැන දී ආර්ථිකය ශක්තිමත් කරනවා

(කොළඹ, ලංකාපුවත්) –දේශීය කෘෂිකර්මාන්තයට මුල්තැන දෙමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කර ඉන්පසුව විදේශිය ආයෝජන පිළිබඳ අවධනය යොමු කරන බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ යන තේමාව ඔස්සේ හිටපු ඇමැති රෝහණ දිසානායක මහතා මාතලේ නගරයේ ඊයේ (27) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය අමතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතා

අපේ ජයග්‍රහණයෙන් පස්සේ ඔබට වගකියන වැඩ කරන , ප්‍රතිඵල ගෙනෙන, විනිවිද පෙනෙන රජයක් අපි බිහි කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික අංග අපේ කාලයේ බලවත්ව තිබුණා. අද පළාත් පාලන ආයතනවලට මේ රජය අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැහැ. අපේ කාලයේ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා ඒ ආයතන ශක්තිමත් කළා. නැවතත් අපි ඒ කාර්යය කරන්න අවශ්‍යයි.

මේ රටේ ත්‍රස්තවාදය අවසාන කළා විතරක් නෙවෙයි ඉන් පස්සේ මේ රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ආරක්ෂක සැලසුම් යෙදුවා. අපි ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයක් දුන්නා. මේ රටේ නිදහස ලබා දුන්න රණ විරුවන් වගේම සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් බුද්ධි අංශ, මේවා එකතු කරලා නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන ලෙස හොඳ ආරක්ෂක සැලැස්මක් යෙදුවා. ඒ නිසයි අපේ කාලයේ නැවතත් ත්‍රස්තවාදීයක් වුනේ නැත්තේ. හමුදාවට භාරවූ අයව පුනරුත්තාපනය කර නිදහස් කළා. අපිට අවශ්‍ය වුණේ නැවත ත්‍රස්තවාදයක් අති නොවන තැනට කටයුතු කරන්නයි. කාපට් මාර්ග, අධීවේගී මාර්ග, ගුවන් තොටුපල වැනි සංවර්ධන ව්‍යාපෘති ඇරඹුවා. නමුත් මේ රජය බලයට අැවිත් ඒ සංවර්ධන ව්‍යාපෘති නතර කළා. ඊට පස්සේ ඒ ව්‍යාපෘති වල වැඩ කළ ලක්ෂ 4 කගේ පමණ රැකියා අහිමිවුණා. මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක්කරන්න කරපු ඒ වැඩ නිසා රට ආර්ථීක වශයෙන් කඩන් වැටෙන්න පටන් ගත්තා. මේ ආණ්ඩුවට රට ආර්ථීක වශයෙන් ගොඩගන්න සැලැස්මක් නැහැ. එවැනි සැලැසුම් ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමක් නැහැ.

අපි සමාජයේ සෑම ජන කොටසක්ම සංවර්ධනය වන අයුරින් ජනතා කේන්ද්‍රීය වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ සංස්කෘතිය හා බැඳුණු වැවිලි කර්මාන්තය, කිරි කර්මාන්තය, කෘෂිකර්මාන්තය කෙරෙහි කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැහැ. මේ රජය කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අමතක කළා. පොහොර සහනාධාරය නතර කලා. ගුණාත්මකභාවයෙන් තොර කරුංකා ගම්මිරිස් වැනි දේ ගෙනත් ප්‍රතිඅපයනය කිරීම නිසා අපේ වැවිලි කර්මාන්තය කඩා වැටුණා. ගොවියාගේ ආර්ථීකය නැංවීම සඳහා අපේ යෝජනා ජනතාව හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. අපි ආහාර සුරක්ෂිත භාවය ඇති කර ගත යුතුයි. මේ රටේ තුනෙන් එකක් තවමත් කෘෂිකර්මාන්තය මතයි යැපෙන්නේ. අපි පොහොර නොමිලේ දෙනවා. ගොවි ණය කපා හරිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *