ජර්මානු සංචාරකයින් ආකර්ෂණයට රු. මිලියන 100ක ප්‍රචාරණ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට පැමිණෙන ජර්මානු සංචාරකයින් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ජර්මනියේ රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධව ප්‍රචාරණ වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ ජර්මනිය පසුවේ. මෙහිදී කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් පැවසුවේ ජර්මනිය ඇතුළු යුරෝපාකරයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්, සෙසු රටවල සංචාරකයින්ට සාපේක්ෂව දෛනිකව වැඩි මුදලක් මෙරට දී වියදම් කරනු ලබන බවයි.

මෙහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

ජර්මනිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳපොළක්. 2018 වසරේ දී ජර්මානු සංචාරකයින් 156,888 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. මේ අවුරුද්දේ මේ වෙන කොට ජර්මනියෙන් 93,886 දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් එන රටවලින් ජර්මනිය සිටින්නේ 4 වැනි ස්ථානයේ.

අනෙක් අයට සාපේක්ෂව ජර්මනියෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින් වැඩි වශයෙන් මුදල් වැය කරන අය. ශ්‍රී ලංකාවට එන සංචාරකයෙක් දළ වශයෙන් දිනකට ඩොලර් 174 ක් වියදම් කරනවා. නමුත් ජර්මනියෙන් සහ යුරෝපාකරයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරනවා. එම නිසා සංචාරක ව්‍යාපාරයේ අනාගතය ගැන අපි කතා කරනවා නම් එය රැඳිලා තියෙන්නේ විශේෂයෙන් යුරෝපාකරයේ. කුඩා රටක් හැටියට වැඩි වියදමක් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපි උත්සාහ ගත යුතුයි. ඒ හරහා තමයි සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරාත්තු වන වටිනාකම නිර්මාණය වන්නේ.

ජර්මනියේ ජනගහනය මිලියන 84 ක් පමණ වෙනවා. මෙයින් 70% ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව නොයෙකුත් රටවල සංචාරය කරනවා. මෙයින් 158,000 ක් ශ්‍රී ලංකාවට එනවා කියන්නේ ඉතා සීමිත ප්‍රතිශතයක්. මේ ප්‍රතිශතය වැඩිකර ගැනීමේ හැකියාව අපිට අනිවාර්යයෙන්ම තිබෙනවා.

මේ වෙන කොට සැප්තැම්බර් මාසය දක්වා 1,376,312 ක සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපට හැකිවෙලා තිබෙනවා. ගිය අවුරුද්දේ මේ වකවානුව වෙන කොට 1,731,922 ක් ඇවිල්ලා තිබෙනවා. ගිය වසරට සාපේක්ෂව 20% ක පසුබෑමක් තිබෙනවා.

ජර්මනි වෙළෙඳපොළ තුළ ලොකු ආයෝජනයක් කරන්න අපි තීරණය කරලා තිබෙනවා. අපි මීළඟ සති කිහිපය ඇතුළත ජර්මනියේ තෝරා ගත් රූපවාහිනී නාලිකාවක් සමඟ ප්‍රචාරණ වැඩපිළිවෙලක් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් අපි වෙන්කර තිබෙනවා. ඊට අමතරව අපි මහජන සම්බන්ධතා සමාගමක් ජර්මනිය තුල පත්කරන්නට තීරණය කළා. ලබන අවුරුද්දේ සිට අපි කරන ප්‍රචාරණයන් තවත් තීව්‍ර කරන්නනට ජර්මනිය ඇතුළත් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා සැලසුම් මේ වෙන කොට සම්පාදනය වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *