පොලීසියේ ගෞරවය ආරක්‍ෂා කරන යුගයක් උදා කරන බවට සජිත්ගෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන අරමුණු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් පළි ගැනීම ඉතා නින්ධිත අසාධාරණ ක්‍රියාවක් බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෑගල්ල ගලිගමුව බල්ලපාන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා ඊයේ(27) කියාසිටියේ පොලිස් සේවයේ ගෞරවය ආරක්‍ෂා වන යුගයක් යළි උදා කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා…..

“සති කිහිපයකට පෙර පොලිස් සේවයේ නියුතු 90,000 කට වැඩි සේවක මහත්ම මහත්මීන්ට රුපියල් 20,000 ක ගමන් වියදම් දීමනාව ලබා දීමට අප කටයුතු කළා. ප්‍රතිවාදීන් දේශපාලන අරමුණු ගැන සිතා එම දීමනාව ලබා දීම නතර කළා. ඔවුන් පොලිස් සේවයට ලබා දෙන සැළකිල්ල සාධාරණද කියා අසනවා. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් පළිගන්න ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අසාධාරණයි. මෙරට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 40,000 කගේ සේවය ස්ථිර කර විශ්‍රාම වැටුප් ලබා දුන්නේ අපේ රජයයි.

සෑම රජයක්ම කෘෂිකර්මාන්තය නගා සිටුවන බවට ප්‍රකාශ කළද වසරින් වසර කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබා දෙන දායකත්වය අඩු වෙලා තියෙනවා. මෙරට සියලුම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අප ක්‍රියාත්මක කරන්නේ දේශිය නිෂ්පාදනය වැඩි කිරීමටයි. ගොවි ජනතාවට නොමිලේ පොහොර ලැබෙන විට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා යන වියදම අඩු වෙනවා. ඒ තුළින් ගොවි ජනතාවගේ ආදයම ඉහළ යනවා. තවද නිෂ්පාදන සඳහා අප සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙන විට ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ ගොස් ජන ජීවිතය උසස් වෙනවා. රටේ නිෂ්පාදන අතිරික්තය අපනයනය කරන, අපනයන කේන්ද්‍රිව ආර්ථිකයක් අප නිර්මාණය කරනවා. අපනයන කෙන්ද්‍රකරගත් ව්‍යාපාරිකයින්ට සුවිශේෂී සහන ලබා දීමට කටයුතු කරනවා. ගළිගමුව ප්‍රදේශයට මෙතෙක් කල් නොලැබුණු පොලිස් ස්ථානයක් සහ ක්‍රීඩාංගණයක් ලබා දීමට මම කටයුතු කරනවා.

රට සංවර්ධනය කර ජනතා සේවය ඉටු කිරීම වෙනුවෙන් මන්සි වී, අධිෂ්ඨානශීලීව, ශක්ති සම්පන්න වැඩ පිළිවෙළ පිළිබඳව තමන් සිදු කරන ප්‍රකාශ ප්‍රතිවාදීන්ට අමිහිරි වචන වෙලා. ඔවුන් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරය කර ජනතා මනස විකෘති කරමින් සිටිනවා. ඇතැම් මාධ්‍ය ආයතන කෙසේ හෝ තම අපේක්ෂකයා දිනවීමට අසාධාරණ ලෙස මඩ ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට හිතවත් අපේක්ෂකයා දිනවා, ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට. අසාධාරණ ලෙස කටයුතු කරන එම ආයතනවල ඇති න්‍යාය පත්‍ර අප ඉදිරියේදී හෙළිදරව් කර ජනතාවට සත්‍ය ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා” යනුවෙන් ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *