පරිසරය පිළිබඳ තම ප්‍රතිපත්තිය ජනාධිපති අපේක්ෂකයන් පැහැදිළිව රටට ඉදිරිපත් කළයුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ලොව පුරා සිදුවන පරිසර විනාශය අද මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමිකරමින් සිටින අතර එබැවින් දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක 01 හිමිවන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

පරිසර සංරක්ෂණය පිළිබඳ පුළුල් ලෙස මහජන සහභාගිත්වය ගොඩ නැංවීමත්, සිවිල් සමාජ සහයෝගය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් වාර්ෂිකව ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ සංවිධානය කෙරේ.

පරිසර සංරක්ෂණ උද්යෝගය වඩවාලීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමි කර්මාන්ත හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කර්මාන්ත, ව්‍යාපාර, වෘත්තීය ආයතන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට පාරිසරික සේවාවන් අගයමින් ක්ෂේත්‍ර 20ක් යටතේ මෙවර සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

රන් සම්මාන 12 ක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභීන් වෙනුවෙන් පාරිසරික සම්මාන 07 ක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියයහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *