ජනපති අපේක්ෂකයන් ප්‍රවර්ධන වැකි – සලකුණු – ඡයාරූප වාහනවල ප්‍රදර්ශනයට තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු සහ ඡයාරූප වාහනවල ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට අනුකූල නොවන බැවින් එවැනි ස්ටිකර් සහ කොඩි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී තිබේ.

ත්‍රී රෝද රථ, බස්රථ සහ සෙසු පුද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ ස්ටිකර් සහ කොඩි ප්‍රදර්ශනය වන බවට මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කැර ඇත.

අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ එවැනි ක්‍රියාවන් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කැර ගැනීම පිළිබඳ පනතේ 74 වැනි වගන්තිය යටතේ වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු සියළුම පෞද්ගලික වාහන වල අලවා ඇති එම ස්ටිකර් සහ කොඩි ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වනඅයුරින් හදිසි පරීක්ෂාවන් කිරිමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාඅවධානරය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *