ප්‍රතිවාදින් අවලාද, සමච්චල් කෙතරම් කළත් කාන්තා සෞඛ්‍ය සනීපාරක්ෂාවේ වගකීම භාර ගැනීමට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –මනුස්සකම හදුනන පුද්ගලයෙකු ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති මෙරට සියලුම කාන්තා පරපුරට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රතිවාදී අපේක්ෂකයා ඇතුළු කණ්ඩායම මෙරට මව්වරුන්, දියණියන් සහ කාන්තා පරපුර විහිළුවට ලක් කරමින්, ඔවුන්ට අවලාද නගමින් තුන්වන පන්තියේ සැලකිල්ලක් දැක්වුවද, කාන්තාවන් පිළිබඳ කැක්කුමක් ඇති අයකු ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලුම කාන්තාවන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් පිරිනැමිමේ වගකීම තම රජයක් යටතේ භාර ගන්නා බව ඔහු තවදුරටත් අවධාරනය කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය නගරයේ පැවති ජන හමුවට ඊයේ (29) එක්වෙමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා…..

“51.8 % ක් පමණ වන මෙරට කාන්තා පරපුර මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් පිළිබඳව රජයක් ලෙස අනාගතයේදී සාධනීය විසදුමක් ලබාදෙන බවට පසුගියදා මම ප්‍රකාශ කළා. මවක් ලෙස මාස 10 ක් පමණ කාලයක් දරුවෙක් කුසේ තබාගෙන උසුලා ගත නොහැකි වේදනාවක් විදින මිහිපිට දෙවියන් ලෙස හැදින්විය හැකි කාන්තා පරපුර තම ජීවිතයේ වසර 30 කට අධික කාලයක් මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍යය ගැටළුවකට අපේ රජය තුළ අනිවාරයෙන් විසදුම් ලබාදීමට කටයුතු කරනවා. සුදුසු සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා මෙම ප්‍රශ්නයට මුහුණ දෙන කාන්තාවන් 70% ක් පමණ රට තුළ සිටිනවා. සුදුසු ක්‍රමවේද භාවිතා කරන්නේ 30% ක් පමණ වන සුළු පිරිසක් පමණයි.

සුදුසු සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා රටේ මව්වරු, දියණිවරු ඇතුළු කාන්තා පරපුර තුළ වකුගඩු රෝග, ගැබ්ගෙල පිළිකා, ප්‍රජනන අවයව ආශ්‍රීත ආසාදන ඇති වී බරපතල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන කාන්තා පරපුර මුහුණ දෙන මෙම ප්‍රශ්න පිළිබදව පාලකයින් ලෙස අපට නිහඩව සිටිය නොහැකියි. මව් කැක්කුම හදුනන, දරු කැක්කුම හදුනන, කාන්තාවන්ගේ දුක දැනෙන පුද්ගලයෙකු වශයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටළුවලට තිරසාර විසදුම් ලබාදී මනුෂ්‍යත්වය මුල්කර ගත් රටක් අපනිර්මානය කරනවා.

අප මෙම යෝජනාව ඉදිරිපත් කළේ සෞඛ්‍ය සම්පන්න කාන්තා පරපුරක් නිර්මාණය කර කාන්තා පරපුරේ ආයුෂ වැඩි කිරීමටයි. නමුත් ප්‍රතිවාදීන් මෙම කාන්තාවන් මුහුණ දෙන ගැටළු, විහිළුවට ලක් කරමින් තමන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. දුක්ඛිත ජන ජීවිතයක් ගත කරන ලක්ෂ ගණනක් පමණ වන කාන්තා ගෘහ මූලික පවුල් සවිබල ගැන්වීම සදහා විශේෂිත වැඩපිළිවෙලක් තම රජය යටතේ ආරම්භ කරනවා” යනුවෙන්ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *