ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් 3400ක් හඳුනාගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3400ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඒ අතුරින් 1600ක් පමණ රෝගීන් දැනටමත් සායන වලින් බෙහෙත් ලබා ගන්නා බවත් ජාතික ලිංග්‍රාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය පැවසුවාය.

එසේම 500ක පමණ මිය ගොස් ඇත.

එච්.අයි.වී/ඒඩ්ස් ආශ්‍රිතව සිදු කරන මාධ්‍ය වාර්තාකරණය වඩාත් හරවත්ව සහ ආචාර ධර්මවලට අනුකූලව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවැත්විණි.

එයට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ පළමු එච්.අයි.වී/ඒඩ්ස් රෝගියා හඳුනා ගත්තේ 1987 වර්ෂයේ දී බවය. එමෙන්ම 2004 වසරේ දී රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ ශ්‍රී ංලකාවට ගෙන්වීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටනේ වාර්තාවලට අනුව බොහෝ එච් අයි වී ආසාදිතයින් හමුවන්නේ ඔවුන්ට වෛරසය අසාදනය වී වසර 5ක් 10ක් ගෙවුණු පසුවය.

එච්.අයි.වී වෛරසය වැළඳුනද ඒඩ්ස් තත්ත්වයට නොයා සාමාන්‍ය ලෙස ජීවත් විය හැකි බවත් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් බවත් පැවසූ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය, රට පුරා ඇති සායන මගින් මෙම පරීක්ෂණ නොමිලේ කර ගත හැකි බවත් මෙම දැනුම්වත් වීම ජනමාධ්‍ය හරහා මහජනතාවට ලබා දෙන ලෙසද මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.

සුළගින් පවා ඒඩ්ස් රෝගය බෝ වෙනවා යැයි කියමින් කුරුණෑගල සහ මාතලේ ඇති වූ සිද්ධීන් නැවත ඇති වීමට ඉඩ නොදිය යුතු බව මෙම අවස්ථාවට එක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පැවසූ අතර, ජනතාව තුල ඇති දුර්මත සමාජගත වීම වලක්වා නිවැරදි මතවාද සහ අදහස්‌ සමාජගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *