උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අයත් ව්‍යාපෘති කිහිපයක් ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිමකළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30) සිදු කෙරිණි.

වෙල්ලස්සේ උමාඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් අරඹමින් මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙහිදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රටේ සංවර්ධනයට සහ ජාතික ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් සපයන සුවිශේෂි ව්‍යාපෘතියක් බවත් එහි වැඩ නිම කරමින් ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත් වන බවත්ය.

2011 වසරේ ව්‍යාපෘතිය ආරම්භ කළ ද එය ක්‍රියාවට නැංවීමේ දී මතුවු සියලු අභියෝගවලට සහ බාධාවන්වට මුහුණදීමට සිදුවූයේ වත්මන් රජයට බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මතුවු විවිධ අභියෝග සහ දුෂ්කරතා හමුවේ කැපවීම් සිදුකරමින් මෙම ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දායක වූ ඌවේ සමස්ත ජනතාවට සිය කෘතවේදිත්වය පළ කිරීමට ද කටයුතු කළේය.

එමෙන්ම මේ සඳහා දායක වූ ඉරාන රජය වෙත ද ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා සිය විශේෂ ස්තුතිය පිරිනැමීය.

උමා ඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145ක් හැරවීම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

එමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් 4,500කට යල සහ මහ කන්නයට අවශ්‍ය ජලය සැපයිම හා දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටයාර් 1,500කට යල කන්නය වගා කිරීමට ජලය සැපයීමත්, ව්‍යාපෘතිය මඟින් ඉදිකෙරෙන මෙගාවොට් 120ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලි බලාගාරය මඟින් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමටත් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.

ඊට අමතරව ව්‍යාපෘති ප්‍රදේශයේ පානීය හා කර්මාන්ත සඳහා ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම අපේක්ෂා කෙරෙන අතර, ඩයරබා හා පුහුල්පොළ ඉදිකෙරුණු ජලාශ මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ ඇටැම්පිටිය ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපයීම ද ඊට ඇතුළත් වේ.

මෙමඟින් ප්‍රදේශයේ වැව් 96ක් වාරි ජලයෙන් පෝෂණය කෙරන අතර පශු සම්පත් හා මත්ස්‍ය සම්පත් සංවර්ධනය, නව රැකියා අවස්ථා උත්පාදනය, නූතන තාක්ෂණික දැනුම ශිල්පීය ක්‍රම අනුගත කර ගැනීම ව්‍යාපෘතියේ සෙසු ප්‍රතිලාභ වෙයි.

ඉරාන රජය සහ ශ්‍රී ලංකා රජය එක්ව රුපියල් කෝටි දස දහසකට අධික මුදලක් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබේ.

උමා ඔය හරහා පුහුල්පොල දී මීටර් 35ක් උසැති රෝලර් සම්පීඩිත කොන්ක්‍රිට් වේල්ලක් සහිතව ඉදිකෙරුණු පුහුල්පොල ජලාශයේ වැඩ මේ වන විට සම්පූර්ණයෙන් නිම කර තිබෙන අතර එම ජලාශයේ ජලය ඩයරබා ජලාශය වෙත හැරවීමේ සමාරම්ය අද ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.මෙම බලාගාරය මඟින් මෙගවොට් 120ක විදුලිය නිපදවීමට නියමිත අතර එය 2020 වසරේදී සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ.

හදපානගල වැවෙහි ධාරිතාව ඝන මීටර් මිලියන 6.5සිට ඝන මීටර් මිලියන 14ක් දක්වා ඉහළ නංවමින් ඉදිකෙරුණු හදපානගල ජලාශය ජනතා අයිතියට පත් කිරීම සහ එහි රන් දියවර නිකුත් කිරීම ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කිරිදිඔය අතු ගංගාවක් වන අලිකොටආර හරහා ඉදි කෙරුණු ඝන මීටර් මිලියන 6.5ක් වන අලිකොටආර ජලාශය ජනතා අයිතියට පත් කිරීම හා එහි රන් දියවර මුදා හැරීමේ අවස්ථාවට අනතුරුව ජනාධිපතිතුමා සහභාගි විය.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *