ආපදාවට පත් ජනයාට සහන සළසන්න දකුණේ ආණ්ඩුකාරගෙන් මිලියන 16ක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කයන්හි ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මිලියන 16 ක මුදලක් ලබා දීමට ඊයේ (30) දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා කටයුතු කළේය.

ඒ අනුව ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන සඳහා ලක්ෂ 10 බැගින් ද ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක මුදලක් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය සභාවට රු. ලක්ෂ 10 ක් බැගින් ද ලබා දීමට ආණ්ඩුකාවරවරයා පියවර ගත්තේ ය.

ආණ්ඩුකාරවරයා ඊයේ පෙරවරුවේ වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය. ඒ අතරවාරයේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් තංගල්ල ප්‍රාදේශීය සභාවට කැඳවා මෙම මූල්‍ය පරිත්‍යාගයන් සිදු කළේය. එම ප්‍රතිපාදන හරහා ආපදාවට පත් පවුල්වල ජනතාවට කඩිනමින් සහන සළසන ලෙස ද ආණ්ඩුකාරවරයා පළාත් පාලන ප්‍රධානීන්ට නියෝග කළේ ය.

මෙවැනි ආපදා තත්වයකදී සහන සැලසීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පමණක් තනිව කළ නොහැක්කක් බවත්, ආණ්ඩුකාරවරයා වශයෙන් එය තමන්ගේ ද වගකීමක් හා යුතුකමක් බවත් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *