අල් බැග්ඩාඩි මිය ගිය බවට IS සංවිධානය පිළිගනී

(කොළඹ, ලංකාපුවත්) –අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩාඩි මිය ගිය බව ඊයේ (31) එම සංවිධානය විසින් ප්‍රථම වරට පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔවුන්ගේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහිම් අල් – හෂෙමි අල් කුරාෂි පත් කළ බවයි.

ටෙලිග්‍රෑම් පණිවුඩ සේවයේ අයි.එස්. සංවිධානයට සම්බන්ධිත ගිණුමක් මාර්ගයෙන් ඒ බව නිවේදනය කර තිබෙන අතර, අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ සහ ‘කලීෆාවේ’ නායකයා බව එමඟින් නිවේදනය කර තිබේ.‍

අමෙරිකානු හමුදා, වයඹ දිග සිරියාවේ මෙහෙයුමක් දියත් කරමින් පසුගිය සති අන්තයේදී අයි.එස්. නායකයා අල්ලා ගැනීමට උත්සාහ කළ අතර, ඒ අවස්ථාවේදී සිය මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් අයි.එස්. නායකයා මරුමුවට පත්විය.

2014 වසරේදී අල් බැග්ඩෑඩි අන්තවාදී සංවිධානයක් වන අයි.එස්. සංවිධානයේ නායකයා ලෙස නම් කෙරුණු අතර, එම සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ සිවිල් වැසියන් ජීවත්වන විශාල භූමි ප්‍රමාණයක් අල්ලාගනිමින් ඔවුන්ගේ පාලනය ස්ථාපිත කළේය.

මේ අතර, අමෙරිකානු සහ කුර්දි හමුදා එක්ව ඔක්තෝබර් 27 වැනිදා කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සිය සංවිධානයේ ප්‍රකාශකයා වූ අබු අල් හසන් අල් මුජහිර් මියගිය බව ද අයි.එස්. සංවිධානය හඬ පටයකින් තහවුරු කළේය.

සෞදි ජාතිකයකු වූ හෙතෙම බැග්ඩෑඩිගෙන් පසු අයි.එස්. සංවිධානයේ නායකයා බවට පත්වනු ඇතැයි පැවැසුණි.

ඔහුගේ මරණයත් සමඟ අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි හෙවත් අබ්දුල්ලා කර්දාෂ් අයි.එස්. සංවිධානයේ නායකයා ලෙසත් අබු හම්සා අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙසත් පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =