දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් හදමු

(කොළඹ, ලංකාපුවත්) – දුප්පත්කම විකුණන ආණ්ඩු වෙනුවට දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා(30) අම්පාර නගරයේ පැවති ජාතික ජන බලවේගයේ ජනතා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“දැන් ඡන්දයක් ඇවිත් තිබෙනවා. හැබැයි මේක මේ සැරේ පෙනෙන්නේ ඡන්ද කාලයක් වගේ නොවෙයි. නත්තල් කාලයක් වගේ. එක්කෙනෙක් කියනවා මම ආවොත් වී ගොවිතැනට නොමිලේ පොහොර දෙනවා. අනෙක් කෙනා කියනවා එයා බලයට ආවොත් සෑම වගාවකටම නොමිලේ පොහොර දෙනවා කියලා. දරුවෝ ඉන්න තැනකනම් කියනවා මම බලයට ආවම කිරි වීදුරුවක් දෙනවා කියලා. උපාධිධාරීන් ඉන්න තැනකදි කියනවා, ඔක්කෝටම රස්සා දෙනවා කියලා. ගැබිණි මව්වරු හිටියොත් කියනවා මම ඔක්කෝටම පෝෂණ මල්ලක් දෙනවා කියලා. නත්තල් පප්පලා දෙන්නෙක් ඇවිල්ලා වගේ. එදා සිරිමා කියනකොට මම ඔක්කෝටම නිකල් හාල් දෙනවා කියලා, කවුද අහලා තියෙනවා කොහෙන්ද ඔච්චර හාල් ගෙනල්ලා දෙන්න තියෙන්නේ කියලා. එතකොට එයා කිව්වලු මම හඳෙන් හරි ගෙනත් දෙනවා කියලා. ඒකටත් මිනිස්සු අත්පුඩි ගැහැව්වාලු. ඡන්දෙ දුන්න. ජේ.ආර්. මහත්මයා ඇවිල්ලා රටේ ජනතාවගේ ශරීර දුර්වල වෙලා; පෝෂ්‍ය පදාර්ථ අඩුවෙලා; ධාන්‍ය වර්ග රාත්තල් 08ක් මම නිකම් දෙනවා කිවුවා. ජනතාව එයාටත් කතිරෙ ගැහුවා. ප්‍රේමදාස මහත්තයා කිවුවා, මම කිරි වීදුරුවක් දෙනවා. බත් කාලා කන්න ගස්ලබු කෑල්ලක් දෙනවා කියලා. චන්ද්‍රිකා නෝනා ඇවිල්ලා කිවුවා, දැන් පාන් ගණන් නේද? මම 3.50ට පාන් දෙනවා කියලා. මේ කට්ටියම ඉවරයක් නැතිව දෙනවා කිය කියා යනවා. ඇයි ඒ? දුප්පත් ගෙවල්වල ඉන්න ගැබිණි දූලට ආහාර වේලක් දෙන්න අම්මලාට මුදල් නැහැ. ඒත් පෝෂණ මල්ලක් දෙනවා කියපු ගමන් දුවලා ගිහිල්ලා ඡන්දේ දෙනවා.

මේ දෙගොල්ලෝ දැන් දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාවගේ නැතිබැරිකම, දුප්පත්කම විකුණනවා. මේ බෙදන්න කතාකරන්නේ මේ රට පාලනය කරපු අයමයි. රාජපක්ෂලා අවුරුදු ගණන් රට පාලනය කළානේ. ඉතිං මේව කලින් දෙන්න තිබුණනේ. දැන් රට පාලනය කරන්නේ සජිත්ලනේ. ඉතිං ඒ ගොල්ලන්ටත් ඔය කියන ඒව දෙන්න තිබුණනේ. මේ තමුන්නාන්සේලගේ දුප්පත්කම විකුණන ආණ්ඩු වෙනුවට අපි මේ වතාවේ හදමු දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක්.

රට ණය කන්දරාවකට යටකරලා. රටම ණය කරලා. රටේ ගිණුම හිස්. නමුත් පාලකයාගේ ගිණුම පිරිලා. දුප්පත්කමට හේතුව මේක තමයි. අපි දුප්පත් ගම්වල ඉපදිලා අතිශය අසීරු ජීවිත ගතකරපු අය. දැනු සජිත් ඇවිල්ලා කියනවා එයා දුප්පතාලු. මරු දුප්පතා. අපිට මේ රටේ ජනතාව දුක් විඳින එක ගැන ඇත්ත වේදනාවක් තියෙනවා. ඒක ඡන්දය ගන්න කියන ව්‍යාජ එකක් නොවෙයි. අපි විඳින දුක ඈත ගම්වල අපේ දරුවෝ විඳිනවා. මේක වනස් කරන්න ඕන නැද්ද? මේ දුකින් ඔබලාට ගැලවෙන්න වුවමනා නම් ජාතික ජන බලවේගය බලයට ගේන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.

මේ රට හදන්න බැරි නම් ලෝකයේ හදන්න පුළුවන් රටක් කොහෙවත් නැහැ. නීතිය කාටත් සාධාරණව ඉටුවෙන රටක් අපි හදනවා. වංචාව, දූෂණය, නාස්තිය තුරන් කරපු රටක් අපි හදනවා. අපේ වේදිකාවේ ඉන්නේ මහජනයගේ කොමිස් මුදල් සතයක්වත් හොරකම් කරපු අය නොවෙයි. අපි මේ රටේ ජාතික සමගිය මහජන ආරක්ෂාව ඉහළින්ම තහවුරු කරනවා. අපිට දෙන්න ආණ්ඩුව. අපි එවැනි ශක්තිමත් අත්තිවාරමක් දමලා තමයි මේ රට හදන්නේ.

අපි රටේ කෘෂිකර්මාන්තය නංවාලන්නේ කෙසේද? එකක් අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්න ඕනැ. කන්නයක් හැර කන්නයක් වගා කරගන්න, හොඳ ආහාර වේලක් ගන්න, ගෙයක් හදාගන්න, අලුත් ඇඳුමක් ගන්න ඔවුන්ට ආර්ථික ශක්තියක් නැහැ. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. විශාල ප්‍රශ්න ගොඩක ඉන්නේ. මෙතන ගොවි මහත්වරු ගොඩාක් ඉන්නවා. කවුරු හරි ඉන්නවාද ණය නැති කෙනෙක්? මේ රටේ ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙනුත් ණයගැතිභාවයෙනුත් මුදා ගත යුතුයි. ගැමි ජනතාවගේ ජීවිත දියුණු කරන්න, ඒ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. කෘෂිකර්මාන්තය කඩා වැටිලා. ගොවි ජනතාවගේ ජීවිත දියුණු වෙන්නේ නැහැ. ගොවි ජනතාවගේ ප්‍රශ්න අතර ප්‍රධාන එක තමයි බීජ ප්‍රශ්නය. අපේ රටේ ඉස්සර බඩ ඉරිඟු වර්ග ගණනාවක් තිබුණා. වට්ටක්කා වර්ග ගණනාවක් තිබුණා. දැන් බඩ ඉරිඟු එක වර්ගයයි. මේ බීජ වර්ග නැති කළේ මේ පාලකයෝ. එනිසා දැන් බීජ කඩෙන් ගන්න වෙලා. තුඹ කරවිල අපේ රටේ ඉස්සර වැවුණේ කැලේට. කවුරුවත් වෙනම වැව්වේ නැහැ. නමුත් අද තුඹ කරවිල ඇටත් කඩෙන් ගේන්න වෙලා. වට්ටක්කා ඇට ග්‍රෑම් 10ක් රුපියල් 7500යි. අපි ගොවියන්ට සහතිකයක් දෙනවා, ගුණයෙන් උසස් බීජ ඔබට ලබාදෙන බවට. ගමට අවශ්‍ය බීජ ප්‍රමාණය නිපදවන වෙනම ගොවි කණ්ඩායමක් හදලා අපි ඔවුන්ව දිරි ගන්වනවා. ඒක බීජ ප්‍රශ්නයට හොඳ විසඳුමක්.

මහ කන්නයේ සිට යල කන්නය දක්වා දින 45ක වගේ අතුරු කාලයක් තිබෙනවා. අපේ ඉස්සර ගොවියා ඒ කාලයේදී අතුරු භෝග වගා කළා. දැන් මොකද වෙලා තියෙන්නේ. වතුර ප්‍රශ්නය නිසා ඒක කරගන්න බැරිවෙලා. මේ පාලකයන්ට ගොවි ජනතාවට වතුර ටිකවත් දෙන්න බැරිවෙලා. පසුගිය අවුරුදු 40ටම පොඩි වෙනස්කම් ඇරෙන්න වැස්සේ අඩුවක් වෙලා නැහැ. අපේ වැව් සම්පත විනාශ කළා. මධ්‍ය කඳුකරයේ ජලාශ හදලා කැලෑ ටික විනාශ කළා. වතුර රඳවගන්න විධියක් නැහැ. සෙන්ටි මීටර් 15ක් පමණ පස් තට්ටුවේ තමයි ගුණාත්මක පස තිබෙන්නේ. ඒකෙ තමයි, තෙතමනය රැඳෙන්නෙ. මේ පාලකයෝ කිසිදු සැලැස්මක් නැතිව කොමිස් කුට්ටිය ලබා ගන්න පමණක් ඇති කළ යෝජනා නිසා අපේ පරිසරය විනාශ වුණා. පස සෝදාගෙන ගියා. පසේ ජලය ගබඩා කර ගැනීමේ හැකියාව නැතිවුණා. වතුර ප්‍රශ්නයට මුල එතනයි. අපට බලය ලැබුණොත් විද්‍යානුකූල සලැස්මකට අනුව යළි පරිසරය ගොඩනගා සංරක්ෂණය කර, ගොවි ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ජලය සපයාදෙන බවට අපි සහතික වෙනවා. ඔබේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබාදීමේ හැකියාව තිබෙන සැලසුම් තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =