හබරණ පලුගස්වැව දෙමුනෑව ගම හැකරැල්ලන් ආක්‍රමණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – හබරණ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමුනෑව ගම්මානය මේ වන විට හැකරැල්ලන් විසින් ආක්‍රමණය කරමින් සිටින බව වාර්තාවේ.

මෙලෙස හබරණ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමුනෑව ගම්මානයට සති කිහිපයක සිට හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ගම හැරදා යාමට සිදුව ඇතැයි ගම් වැසියන් පවසති.

සුදු සහ කහ පැහැති පාද රැසක් පවතින මෙම හැකරැල්ලන් විශාල ප්‍රමාණයක් දෙමුනෑව ගම්මානයේ නිවෙස් වල නිවෙස් ආශිතව සහ අවට කැලෑවල සිටින බව ඔවුහු සඳහන් කරති.

දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ක්‍රියාත්මක මෙම හැකරැල්ලන් විශේෂය දැඩි දුර්ගන්ධයක් පවතින බවත් නිවෙස් ඇතුළත සහ ගස්වල නිවෙස්වල බිත්ති ආශ්‍රිතව විශාල වශයෙන් පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම හැකරැල්ලන් විශේෂ පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිළධාරිවරයාට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුවත් කළ බවත් ඔවුන් පැමිණ පරීක්ෂාකොට බලා මෙම හැකරැල්ලන් මර්දනය කිරීමට නොහැකි බව පවසා පිටව ගිය බවයි එම ජනතාව සඳහන් කළේ.

දෙමුනෑව ගම්මානයේ බොහෝ ජනතාව තම නිවෙස් වටා ඉටිරෙදිවලින් අඩි එක හමාරක පමණ උසට හැකරැල්ලන්ට පැමිණීමට නොහැකි වන පරිදි ආවරණය කර තිබීම විශේෂත්වයකි. එහෙත් ඉටිරෙදි සවිකරන ලී කැබලි වලින් සහ ඉටිරෙදි ඇතුලෙන් මෙම හැකරැල්ලන් නිවෙස්වලට පැමිණෙන බව ජනතාවට පෙන්වා දෙති.

මේ හේතුව නිසා තමන්ට ආහාරයක් පිසගැනීමට ආහාරය ගැනීමට, වැසිකිලියකට යෑමට හෝ අඩුම තරමේ මිදුලේ ඇවිදීමට වත් නොහැකි තත්ත්වයක් පසුවන බව එම ජනතාව කියා සිටියේය.

මුළු ගම්මානය පුරාම දැඩි දුර්ගන්ධයක් පවතින බවත් මේ දිනවල ගමේ පොදු වැඩ කටයුත්තක් හෝ උත්සවයක් හෝ පැවැත්වීමට නොහැකිව බරපතල තත්ත්වයක් පසුවන බවත් පානීය ජල කරාම වල හා ජල ටැංකිවල ද මෙම හකරැල්ල විශේෂය ඝන ව පවතින බව ඔවුහු පෙන්වා දුන්හ.

කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් හැකරැල්ලන් නිසා ගම්මුන්ට ගම හැරදා යෑමට සිදුවන තත්ත්වයකට පත්ව තිබේ.

මෙම ගම්මානයට ගිය අපට ද දැක ගැනීමට හැකි වූයේ විශාල වශයෙන් තැන තැන ඇවිදින හැකරැල්ලන් විශේෂයයි. එමෙන්ම හැකරැල්ලන් දහස් ගණනාවක් තැන තැන මිය ගොස් තිබෙන ආකාරයද දැක ගැනීමට හැකි විය.

මෙම සත්ව විශේෂය අනෙකුත් ගම්මානවලට පැතිර යෑමට මත්තෙන් කඩිනමින් මර්දනය කර දෙන්නැයි ගම්මුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

අප මේ පිළිබඳව පලුගස්වැව ප්‍රදේශීය ලේකම් අයි .ජි .එස් .අයි.බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මේ තත්ත්වය පිළිබඳව අදාළ සියලු අංශ දැනුවත් කොට තිබෙන බවයි. මේ සතුන් මර්ධනයට මෙතෙක් ක්‍රමවේදයක් නැති බවද ඔහු පැවසුවේය.

ලක්ෂික සංදීප – දඹුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + sixteen =