මවුබිමට ආදරය කරන පක්ෂ එකට එකතු වුණා

(කොළඹ, ලංකාපුවත්) – පක්ෂ අතර විවිධ මතභේද තිබුණත් මේ පක්ෂ එකතුවූයේ එක පොදු අරමුණක එනම් මවුබිමට ආදරය කරන පක්ෂ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සමඟ සන්ධාන ගත වූ පක්ෂ 17 පසුගිය පළාත් පාලන ඡන්දයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීමේදී මෙවර ජනාධිපතිවරණ සටන සියයට 56ක ඡන්ද ප්‍රතිශතයකින් ආරම්භ කිරීමට හැකි බවද ගෝඨාභය රජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ 17ක් එක්ව පිහිටු වූ ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(31) එම පක්ෂවල ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදුකෙරුණු අතර එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ මවුබිම රැක ගැනීම සඳහා බිහිකර ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට මම මුලින්ම ජය ප්‍රාර්ථනා කරනවා. අද මෙලෙස පක්ෂ 17ක් එක්ව පිහිටුවා ගත් මෙම සන්ධානය උතුර, දකුණ, නැගෙනහිර වගේම කඳුකර යන සියලු ප්‍රදේශ, පළාත් නියෝජනය වන පරිදි ලංකාවේ පිහිට වූ විශාලතම සන්ධානය ලෙසයි මා දකින්නේ. මේ පක්ෂ අතර විවිධ මත තිබෙන්න පුළුවන්. නමුත් මේ පක්ෂ සියල්ලම එකතු වුණේ එක් පොදු අරමුණක් වෙනුවෙන්. ඒ අපේ මවුබිමට ආදරය කරන පක්ෂ ලෙසයි. අපිට විශාල අභියෝග තියෙනවා. මේ රටේ ස්වෛරීත්වය, ඒකීය බව, ආරක්ෂාව, බිඳවැටී තිබෙන ආර්ථිකට ගොඩ නැගීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම, නීතියේ අධිපත්‍ය තහවුරු කිරීම, විශේෂයෙන්ම ජනතාව ජීවත්කරවීම සහ ඇති-නැති පරතරය නැති කර සෞභාග්‍යවත් රටක් බිහි කිරීමේ අභියෝගය වෙනුවෙන් තමයි අපි අද එකතු වෙලා සිටින්නේ. මේ අභියෝගය අපිට ජයගන්න පුළුවන්. අපි කවදත් අභියෝග බාරගෙන එම අභියෝග ජයගත්ත පිරිසක්.

ඒ වගේම අද අපේ අනාගතය, ඒ කියන්නේ විශේෂයෙන්ම තරුණ පරපුර අපේ ජයග්‍රහණයෙන් පසු පිහිටුවන රජයක් තුළින් ඉටු කරගන්න විශාල බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු සියල්ලක් ම ඉටු කරන්න අපි අනිවාර්යෙන්ම සැදී පැහැදී සිටිනවා. ඒ වගේම අද අපි සමඟ සන්ධාන ගත වූ පක්ෂ සියල්ල එකතු වෙලා ඉන්නේ පසුගියදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්නයි. අපි ඉදිරිපත් කළ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියල්ලක්ම ඉටු කරන්න පුළුවන් ප්‍රායෝගික සැලසුම් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ රටේ ඉන්න බුද්ධිමතුන්, විද්වතුන්, ව්‍යවසායකයන්, ඒ වගේම ගම සමඟ පිළිසඳරක් හරහා තමන් කැමැති යෝජනා, ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ විසඳුම් සියල්ලක්ම ප්‍රායෝගිකව ඉටුකළ හැකියි. ඒ නිසා අපේ ජයග්‍රහණයෙන් පස්සේ ජනාධිපති ධූර කාලය ඇතුළත සියලුම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට මේ සෑම පක්ෂයකම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා.

අපි දන්නවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සහය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභා, පළාත් සභා ආයතනවල සහයත් ඉතාමත් අවශ්‍යයි. මේ අවශ්‍ය වන ශක්තිය අපිට ලබාගැනීම සඳහායි සන්ධානයක් ලෙස එකතු වුණේ. මොන මොන වෙනස්කම් පක්ෂ තුළ තිබුණත්, අද අපි පෙළ ගැසී සිටින්නේ එක අරමුණක් වෙනුවෙන්, ඒ අරමුණ ඉටු කරගන්න ජනාධිපතිවරණය ජයග්‍රහණය කරගන්න අවශ්‍ය සහය ලබා දෙන්න කියා සියල්ලන්ගෙන් ම ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *