හොකී තොටිල්ලට නව යුගයක් – හොකී පිටිය යුදහමුදාවට පවරාගැනේ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට හොකී ක්‍රීඩාවට දක්ෂයින් බිහිකරන නිජබිම මාතලේ පුරවරයයි. ජාතික හොකී කණ්ඩායම මෙන්ම මෙරට ප්‍රබලතම හොකී කණ්ඩායම් රැසක ප්‍රබල සාමාජිකයින් බහුතරයක් නියෝජනය කිරීම ඊට හොඳම සාක්ෂියයි. ඒලෙස රටට විකසිත වන හොකී තරු දීප්තිමත් කිරීම වෙනුවෙන් 2000 ඔක්තොම්බර් 06 වැනි දින මාතලේ නගරයේ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගනයක් බිහිවන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහිවුණු දේශපාලනඥයෙක්වන නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සංකල්පයකට අනුවය.

නමුත් වසර පහක පමණ කාලයක් පුරාවට කිසිවෙකුගේ ඇල්ම බැල්ම නොවැටුණු මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පවරා ගැනීමට වත්මන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තීරණය කරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී සංගමයේ සහ ආරක්‍ෂක සේවා හොකී සංගමයේ සභාපති ධූරයද හොබවන තමා හොකී ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ යුතු ජාතික වගකීමක් ඉටුකිරීමක් වශයෙනි. ඒසේම හොකී ‌තොටිල්ල ලෙසින් හැඳින්වෙන මාතලේ පුරවරයෙන් හොකී තරු බිහිකිරීමට ලැබී තිබෙන මහඟු දායාදය ඉදිරි පරම්පරා කිහිපයකට ආරක්ෂා කරදීම වෙනුවෙනි.

මාතලේ ප්‍රධාන පාසැල් අතර හොකී තරඟ, පළාත් තරඟ, ජාතික පාසැල් හොකී තරඟ, මාතලේ ප්‍රධාන පාසැල් මඟින් පවත්වන හොකී තරඟ, ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරඟ, ක්‍රීඩා සමාජ තරඟ ඇතුළු තරඟාවලි රැසක්ම මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගනයේ දී පවත්වා ඇත. ඒසේම 2006 දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියේ හොකී තරඟ පැවැත්වුණේද මේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගනයේදීය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගත් අතර ඒම කණ්ඩායමට යුද හමුදාවේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඇතුළත් විය.

ඒසේම හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජනය සැලකීමේදී ජාතිකහොකී කණ්ඩායමේ නායකත්වය ශ්‍රීලංකා යුද හමුදා ක්‍රීඩකයින් විසින් සිව්වරක් හොබවා ඇති අතර ඔවුන්ගෙන් කෝප්‍රල් එම්ජීඑච්පීකේ ධර්මරත්න නායකත්වය දැරූ 2013 වර්ෂයේ දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වූ ආසියානු අභියෝගතා කුසලාන හොකී තරඟාවලියේ දී ශූරතාව දිනාැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එසේම මේවන විට ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනාගෙන් 10 දෙනෙකුම ශ්‍රීලංකා යුද හමුදාව නියෝජනය කරයි.

හොකී ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී යුද හමුදාවේ දායකත්වයද ඉතා ඉහළ මට්ටමක තිබෙන නිසාවෙන් හොකී ක්‍රීඩාංගණයක් යුද හමුදාව වෙත පවරාගැනීම තුළින් යුද හමුදාව මෙරට හොකී ක්‍රීඩාවට දක්වන දායකත්වය තවත් ඉහළ අගයකට ගෙන යා හැකිවනවා සේම යුද හමුදාවේ හොකී ක්‍රීඩකයින්ටත් තම පුහුණු කටයුතු වෙනුවෙන් පහසුවක් වනු ඇත.

මෙම හොකී ක්‍රීඩාංගනය යුද හමුදාවට පවරා ගැනීමෙන් පසුව අදියර තුනක් යටතේ මෙහි නවීකරණ කටයුතු සිදුකරන අතර පළමු අදියර යටතේ ලෝකයේ ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු කෘත්‍රීම හොකී කාපට්වර්ගය වන නිල් කාපට් ඇතිරීම සිදු කරනු ලබයි.මෙහි දෙවැනි අදියර ලෙස ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීමත් තුන්වැනි අදියර ලෙස රාත්‍රී තරඟ පැවැත්වීම සහ ජාත්‍යන්තර තරඟ පැවැත්වීමට හැකි පරිදි අවශ්‍ය නවීකරණ කටයුතු සිදුකිරීමත් සිදු වේ.

එසේම වසර 29 ක කාලයක් සඳහා මෙම පවරාගැනීම සිදු කළ පසු සියලු අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබයි්. ඒ අතරතුර මාතලේ සහ නුවර අවට පාසැල්වලට, ජාතික හොකී කණ්ඩායමට පුහුණුවීම් සඳහා මෙම ක්‍රීඩාංගනය නොමිලේ ලබා දීමටද සැලසුම්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *