ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ගුවන්යානා දත්ත මෙහෙයුම් පද්ධතිය සහ අධි සම්ප්‍රේෂණ සන්නිවේදන පද්ධතිය විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ගුවන් සීමාව තුල ගුවන් සංසරණ සේවාව සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සතු වගකීම ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත පවරා තිබේ.

ඒ අනුව ගුවන් සංතරණ සේවාව, ගගන සන්නිවේදනය හා ගගන සංතරණ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර ශ්‍රී ලංකා ගුවන් කලාපයේ නාවික සැතපුම් ලක්ෂ හයක පමණ වූ සීමාව තුළ ගුවන් මාර්ග 14ක් පුරා ගුවන් යානාවලට අවශ්‍ය මාර්ග සංඥා සහ අනිකුත් සේවාවන් සපයනු ලැබේ.

ලංකාවේ ගුවන් කලාපයට උතුරින් ඉන්දියාවත්, නැගෙනහිරින් ඉන්දුනීසියාවත්, දකුණින් ඕස්ට්‍රේලියාවත් සහ බටහිර මාලදිවයින් ගුවන් කලාපයත් පිහිටා ඇත. ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමෙහි ගඟන නාවික සේවා ස්ථානයේ නිලධාරීන් විසින් අධි සංඛ්‍යාත තරංග ඔස්සේ ගුවන් යානා වලට අවශ්‍ය සේවා සපයනු ලැබේ. ගඟන නාවික සංනිවේදන මධ්‍යස්ථානයේ ඇති උපකරණ අවුරුදු 40 කට වඩා පැරණිය. ඒ නිසා වැඩිවන ගුවන් යානාවලට සේවය සැපයීම සඳහා නවීන උපකරණ පද්ධතියක අවශ්‍යතාව පැන නැගී තිබුණි. මෙතෙක් පැවැති පැරණි සන්නිවේදන පද්ධතිය ඉවත්කර නව ගුවන් යානා දත්ත මෙහෙයුම් දත්ත පද්ධතියක් ස්ථාපිත කරන ලදී. මේ අනුව දත්ත ඇතුලත් කිරීම සම්පූර්ණ ස්වයං‍ක්‍රීයව සිදුකිරීමට පහසුකම් සැපයේ.

නව දත්ත මෙහෙයුම් පද්ධතිය මඟින් අප ගුවන් කලාපයේ තුළ ඕනෑම මොහොතක ගුවන්යානා ස්ථානගත වීම පෙන්නුම් කරන දර්ශන තිරයක් හා විද්‍යුත් දත්ත දර්ශන සහ විද්‍යුත් දත්ත සටහන් කිරීමත් සමඟ සියලු සන්නිවේදන කටයුතු කරයි. මෙම නව ගුවන් සංතරණයන් පද්ධතියෙන් ස්වයංක්‍රීයව පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමද සිදුවෙයි.

මෙම නව ව්‍යාපෘතිය මඟින් ගඟන නාවික සේවාව වඩා කාර්යෂමව, නිවැරදිව, සැපයීමට හැකිවන අතර එමගින් අපගේ ගුවන් කලාපය තුල වඩා ආරක්ෂාකාරීව ගුවන් මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවන්ගේ නියමයන්ට අනුකූලව ඉටුකිරීමේ හැකියාව මෙමගින් ප්‍රවර්ධනය කෙරේ. ගුවන් සන්තරණ සේවාව සඳහා නවීනතම තාක්ෂණික යටිතල පහසුකම් සැපයීමේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමෙහි විද්‍යුත් හා ගුවන් සන්තරණ අංශයේ වෘත්තියවේදීන්ගේ කැපවීම මත සාක්ෂාත් කර ගැනීමට හැකිවී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවූ මිලියන 82 ක මුදල සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම මඟින් සැපයනු ලැබූ අතර, එම ව්‍යාපෘතිය මල්පල ගැන්වීමට සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *