රහස් ගිවිසුම් අපට නැහැ

(කොළඹ, ලංකාපුවත්) –මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකානු තානාපතිවරයා එක්ව පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට හෝ ජනතාවට නොදන්වා, රහස් ගිවිසුම්වලට එළැඹි ආකාරයට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන බවත් එම ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (05) පදනම් ආයතනයේදී ‘සජිත් සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව පැවැති විශේෂ විග්‍රහයකට එක් වෙමින් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලෙස කිසි විටෙකත් බලහත්කාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම හෝ එවැනි කාර්යවලට රජය සුදානම් නැති බව පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් මෙන්ම අධිකරණමය නියෝගයකින් සහ විශේෂයෙන්ම ජනතාවගේ කැමැත්ත විමසීමකින් පසුව අත්සන් කෙරෙන බවත් ඉදිරි දින 13 තුළ එය අත්සන් කිරීම සිදු නොවන බවත්ය.

මෙහි ජනතා කැමැත්ත විමසීමේදී රජය ඔවුන්ගෙන් විමසන්නේ ඔවුන්ගේ ප්‍රදේශවල මාර්ග පද්ධති පුළුල් කිරීමට, ඒවා සංවර්ධනය කිරීමට ඔවුන් කැමති වන්නේද විරුද්ධ වන්නේද යන්න බව සඳහන් කළ ඇමැතිවරයා මේ ගිවිසුමෙන් හිමි වන මුදල් අදාළ ව්‍යාපෘති සඳහා යොදවන ආකාරය පිළිබඳව කොන්දේසි 4ක් පනවා ඇති බවද පැවසීය. මේ තුළින් ජනතාවට අහිතකර බලපෑම් එල්ල වන කිසිදු කටයුත්තක් සිදු නොවන බව ඇමැතිවරයා අවධාරණය කළේය. ජනතාවට ප්‍රතිලාභ රැසක් මින් හිමි වුවද එහි ප්‍රතිලාභ අත්විඳීමට කැමැත්ත හා අකමැත්ත ඔවුන්ගෙන් විමසන බවත් ජනතාවට අහිතකර කිසිදු පියවරක් ගිවිසුමෙන් සිදු නෙකරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *