ශ්‍රීලනිපය මරා දමන්න ඉඩ දෙන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) –බණ්ඩාරනායකවරුන් ජීවිත පරිත්‍යාගයෙන් ආරම්භ කළ මේ රටේ ජනතාවගේ ප්‍රමුඛතම පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීමට රාජපක්ෂවරුන් අවස්ථා කීපයකදී කටයුතු කළ බවත් එහෙත් ඔවුන්ටත්, කිසිවකුටත් අප ආදරණීය පක්ෂය මරා දැමීමට නොහැකි වන ලෙස දිවිහිමියෙන් පක්ෂය ආරක්ෂා කර ගැනීමට කැපවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමඟ නීති වීරෝධිව අවබෝධතා ගිවිසුමකට එක්වෙමින් එහි ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එරෙහිව සහ “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි – අපි ශ්‍රී ලංකා” තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඊයේ (05) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සභාව අමතමින් කුමාරතුංග මහත්මිය මෙසේ පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේද පැවසුවාය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුක්ඛිත ඉරණමක් අත්වී තිබෙන බවත් එයට සෘජුව වගකිව යුත්තේ වසර 2005 දී එහි නායකත්වයට පත් වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ ගන්නා සමස්ථ ලංකා බල මණ්ඩලයේ හෝ විධායක සභාවේ බහුතරයකගේ අභිමතය නොතකා පොහොට්ටුව සමඟ නීති වීරෝධීව මේ වනවිට ගිවිසුමකට එළඹ ඇතැයි ද එයින් අගතියට පත් අප පක්ෂය ආරක්ෂා කර ගැනීමට තීරණාත්මක දේශපාලන තීන්දුවක් පක්ෂයේ සාමාජික ඔබ ගත යුතු බවත් ඊට නායකත්වයට ලබා දීමට තමන් ඇතුළු කණ්ඩායමත් සූදානම් බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 71 ක් ගතවන ඉතිහාසය තුළ වැඩිම කලක් රට පාලනය කිරීමට නායකත්වය දුන් අප පක්ෂය අවුරුදු 23 ක් ඒ දේ ඉටු කළා. නමුත් 2005 න් පසු ඉතා තක්කඩි දේශපාලන සංස්කෘතියක් අප පක්ෂයට හඳුන්වා දෙමින් හිටපු ජනාධිපතිවරයා එය විනාශ කළා. නායකත්වයේ පටන් පළාත් සභා, පළාත් පාලන ආයතන වන නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් 20%ක් කොමිස් කුට්ටි කඩා ගන්නා පිරිසක් බවට පත් කළා. ඊට අකමැති පිරිස් අප සමඟ එකතු වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් සන්ධානවලට කැමති පක්ෂයක්. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානයකට ගොස් සිටියේ නැහැ. එහෙම පැවැති තත්ත්වයක් පවා බිඳ දමමින් අපි එජාපය සමඟත් එකතුව රට ගොඩනැඟීමට එක්වූවා. ඒ කිසිම අවස්ථාවකින් අප පක්ෂයට හානියක් සිදු වුණේ නැහැ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පෞද්ගලික සිතුවිලිත් දේශපාලන ප්‍රතිපත්තිත් පටලවා ගන්නේ නෑ. මා කිසිවකු සමඟ වෛරී දේශපාලනයක් කරන්නේ නැහැ. මට එසේ කිරීමට අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් මම අවස්ථාවාදීන්ට, කෙළින් වැඩ නොකරන මිනිස්සුන්ට මෙන්ම හොරුන්ටත් විරුද්ධයි. ඒ අය මට පෙන්නන්නත් බැහැ.

එළඹ තිබෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි පුද්ගලයන් නොව ප්‍රතිපත්ති දිනවීමට පියවර ගත යුතුයි. ඒ අනුව රටට වැඩදායි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතායි. ඔහුගේ වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක්. එය ක්‍රියාවට නැංවීමට අප ඔහු පොළඹවා ගන්නා ලෙස ශක්තිමත් කණ්ඩායමක් බවට පත්විය යුතු යැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කීවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ අරමුණින් පැවැති මෙම ජාතික සමුළුවට මහා සංඝරත්නය වැඩම කොට සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, දකුණු පළාත් සභා හිටපු ඇමැති යූ. ඩී. ආරියතිලක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ. එම්. එම්. අම්ජාඩ්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන යන මහත්වරුද කතා කළහ. මේ අවස්ථාවට අැමැතිවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මංගල සමරවීර, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, හීන්මහත්තයා ලියනගේ යන මහත්වරු ප්‍රධාන ශ්‍රීලනිප පළාත් සභා පළාත් පාලන ආයතන හිටපු මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, සහෝදර පක්ෂ නියෝජිතයින් සහ පක්ෂයේ සාමාජික සාමාජිකාවන් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *