නීති තර්ක නවතා අමෙරිකානු පුරවැසිකම අවසන් කළ සහතිකය පෙන්වන්න

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිධුරය වෙනුවෙන් තරග කරන පුද්ගලයකුගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම ඛේදවාචකයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක දේශපාලන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවන් අර්බුදයක් ඇතිවී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තමා ඇමරිකානුවෙක්ද? ශ්‍රී ලාංකිකයෙක්ද? යන්න රටවැසියා ප්‍රශ්න කරන පසුබිමක ජනාධිපතිධුරය තබා ගම්සභා මන්ත්‍රිධුරයක් හෝ හොබවන්නේ කෙසේදැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්නකර සිටියි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(12) පස්වරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීය.

දෙවන දිනටත් උපවාසයේ නිරත ඉගුරුවත්තේ සුමංගල හිමියන් හමුවීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ නිවැරදි ලේඛන ඉදිරිපත් කළ යුතු බව පවසමින් උන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භ කර ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පුරවැසියන් නඟන මේ ප්‍රශ්නයට වහාම පිළිතුරු සැපයිය යුතු බවයි.

එදා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහිමිවීම පිළිබඳ ද දොස්තර රාජිත සේනාරත්න මහතා සිහිපත් කළේය. ද්විත්ව පුරවැසිභාවය, මැතිවරණයකට ඉදිරිපත්වීමේ දී සොයා නොබැලෙන නමුත් පසුකාලීනව අධිකරණය ඉදිරියේ වරදකරු වීමෙන් ඇය භුකිති විඳි සියලු වැටුප් ආදී සියලු රාජ්‍ය වත්කම් නැවත ගෙවීමට සිදු විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද ලේඛන, මැතිවරණ කොමසාරිස්තුමන් වෙත ඉදිරිපත් කර නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කළේය. ඇමරිකානු පුරවැසිභාවය අවසන් කිරීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් එය අවසන් කිරීමේ සහතිකයක් නිකුත් කරනු ලබයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එම සහතිකය ඉදිරිපත් කිරීමෙන් ගැටලු සියල්ල නිරාකරණය වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *