ඒකීය ශ්‍රී ලංකාවක ජාතික ආරක්ෂාව සවිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා

(කොළඹ, ලංකාපුවත්) –ඒකීය ශ්‍රී ලංකාවක් තුළ අපේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ස්වෛරීත්වය සහ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සුරක්ෂිත කරමින්, බුදු දහමට මුල්තැන ලබාදී අනිකුත් ආගම් සුරක්ෂිත කරමින් සැබෑ ජනතාවාදී, මානවහිතවාදී යුගයක් බිහි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එළැඹෙන 17 දින ලැබෙන හංසයාගේ නියත අති විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු පොදු ජනතාවට උපරිම සේවය ඉටු කිරීමට කැප වෙන බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වුණු ජයග්‍රාහී ජන රැලි මාලාවේ අවසන් ජන රැලියට ඊයේ (13) සහභාගි වෙමිනි.

අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් කොළඹ ටවර් හෝල් රඟහල අසල පැවති ජන රැලියට නායක හිමිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරු විශාල පිරිසක් එක් වී සිටියහ. මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රි ෆයිරුස් හාජි මහත්වරුන් ජයග්‍රාහි ජන රැලිය සංවිධාන කර තිබිණි. ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව ද නොතකා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සහතික කරමින් එහි පැමිණ සිටි ජන ගංඟාව අමතමින් ඒ මහතා මෙසේද පැවසීය.

ජාතික මට්ටමේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් තුළින්, අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් තුලින් රටේ ඇති කරන සංවර්ධනය, ශීඝ්‍රග්‍රාමි සංවර්ධනයක් බවට පත්කර සංවර්ධනයෙන් ලැබෙන සියලුම ප්‍රතිලාභ මේ රටේ ජනසමාජයේ සියලුම දෙනාට සමසේ බෙදීයන සාධාරණ ආර්ථික ක්‍රමවේදයක් නිර්මාණය කරනවා. මේ රටේ ජනතාවගේ එකම පැතුම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගනිමින් කිසිවකුටත් පින්සේන්දු නොවී, යටත් නොවී, අතනොපා නිදහස් නිවහල් ජිවිතයක් ගත කිරීමයි. ඒ නිදහස, ශක්තිය, ප්‍රතිලාභය, ඒ ශක්තිමත් සංවර්ධනය පොදුජනතාවගේ දෙපතුළ ළඟට ළඟාකරන්නට අපි ඇප කැප වෙනවා.

අපි ත්‍රස්තවාදය විනාශ කරනව, මිනීමරුවන් විනාශ කරනවා, කුඩුකාරයන් විනාශ කරනවා, මීනීමරුවන්ව, ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාරකරුවන්ට රටේ ජනසමාජයේ ඉඩක් තියන්නේ නැහැ යැයිද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *