නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) – නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (14) ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

නිවුන් දරුවන්, තුන් නිවුන් දරුවන් සහ පස් නිවුන් දරුවන් සිටින පවුල් 69 ක් වෙනුවෙන් එම දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා රුපියල් ලක්ෂ 10, ලක්ෂ 20 සහ ලක්ෂ 25 බැගින් වූ මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

නිවුන් දරුවන් ලැබීමට තරම් වාසනාවන්ත වූ එහෙත් එම දරුවන් හදා වඩා ගැනීමේ දී ආර්ථික දුෂ්කරතාවලට මුහුණදුන් පවුල් උදෙසා මුල්‍ය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ අතර ඒ අනුව දිවයින පුරා සිටින නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වන විට විශාල මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබේ.

මේ අතර දැයේ දරුවන් සුරැකීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් 2019 ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ භාර අරමුදලක් ද දියත් කළ අතර එම අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් ර්‍ණදිරි දරු සම්පත” නමින් නව ලොතරැයියක් හඳුන්වාදීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් හඳුන්වා දුන් මෙම ලොතරැයියේ පළමු ටිකට්පත ජනාධිපතිතුමා වෙත අළෙවි කෙරිණි.

මේ අතර ජනාධිපති අරමුදල යටතේ දුෂ්කර ප්‍රදේශවල රෝහල් 12 ක් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මෙම ජාතික වැඩසටහන්වලට සමගාමීව ජනාධිපතිතුමා වෙත සිය කාර්ය මණ්ඩලයේ උපහාරය පිළිගන්වමින් ර්‍ණසේවා ප්‍රසාධනී” නමින් වැඩසටහනක් ද අද ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

මහජන සුබසිද්ධිය වෙනුවෙන් සුවිශේෂි සහ සාර්ථක ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීම ඇතුළු රට සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ඉකුත් පස් වසර පුරා ඉටු කළ කාර්යභාරය අගයමින් ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අතින් සිදු විය.

ජයන්ති සිරිසේන මැතිනිය ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *