ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට නව ජනපතිගෙන් ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට තමා සමඟ එක් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීම අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව සිදු විය.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම ජයග්‍රාහණය බහුතර සිංහල ඡන්දවලින් ලබා ගැනීමට හැකි බව තමා මුල සිටම දැන සිටි බවයි. එහෙත් එම ජයග්‍රහණය සඳහා එක්වන ලෙස තමා දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ලා සිටි බවත් එය තමා අපේක්ෂා කළ මට්ටමට නොතිබුණු බවත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එහෙත් දැන් එළඹ ඇත්තේ සියලු දෙනා එකතු වී රට සාර්ථකත්වය කරා රැගනෙ යන අවස්ථාව බව පෙන්වා දුන්නේය.

සිය ගමනේ අයෝමය ශක්තිය වුයේ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා බවත් මේ මොහොතේ තමා ඔහුට සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් පළ කරන බවද සඳහන් කරන ලදි.

එමෙන්ම සිය පක්ෂයට සියලු ආකාරයෙන් ශක්තියක් වූ සියලු නිලධාරීන්ට, සාමාජිකයන්ට, සහ පාක්ෂිකයන්ටද ස්තූතිය පිරිනමන බව පැවසීය.

ජාතියක් වශයෙන් එකතු වී රට ගොඩ ගැනීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට එකතු වෙන ලෙසත් රට වෙනුවෙන් තීරණ ගැනීමේදී විධායක බලතල භාවිතා කිරීමට කිසි විටෙකත් පසුබට නොවන බවත් සඳහන් කළේය. සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි නව රජයක් පිහිටුවන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට 5 වන විධායක ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියහ. ත්‍රෛනිකායන් මහා සංඝරත්නය සහ අනෙකුත් ආගම්වල පූජකවරුන්ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *