ජනපති නිල ධජය එළිදැක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය එළිදැක්විණි. පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරන එම ධජය ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ජගත් ජයසිංහ මහතා විසින් නිර්මාණය කරනු ලැබීය.

ජනාධිපතිතුමාගේ ධජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරේ.

නෙළුම් මල වටා ඇති කහ පැහැති වෘත්තයෙන් ප්‍රඥාව ද සුදු පැහැති වෘත්තයෙන් සත්‍යවාදී බව ද නිරූපණය වේ. සිව්කොණ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව්දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරය ද නාමලේ තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව ද කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව ද නිරූපිතයි.

එකිනෙක අභිමුඛව පිහිටුවා ඇති වී කරල් හා ඒ අතර තිබෙන කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය සංකේතවත් කෙරේ. එක සමාන පළලින් යුත් සුදු තීරුව මගින් නිරූපණය කෙරෙන්නේ සියලු ආකාරයන්ගෙන් සලසන ආරක්‍ෂාවයි.

එක සමාන පළලකින් යුත් කහ පැහැති තීරුව මගින් සියලු කොටස් එකට බැඳී පවතී. ඉන් ජාතීන් අතර එකමුතුව, සාමය හා අන්‍යෝන්‍ය අවබෝධයත් කහ පැහැයෙන් ඒ සැම තුළ පවත්නා ජීව ගුණයත් නිරූපණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *