සජිත්ගේ අලුත් ගමන ගැන තොරතුරක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන්, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් වන බව වාර්තාවේ.

එම පාර්ශ්වය වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි සදහන් කළේය.

මේ වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය ධූරවලින් ඉල්ලා අස්වීමට ද ඉකුත්දා තීරණය කරන ලදි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඊයේ (18) ප්‍රකාශ කළේය.

කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රුවන් විජේවර්ධන, මලික් සමරවික්‍රම සහ අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන් මේ වනවිට සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් විය.

එම පාර්ශ්වය ඉදිරි දේශපාලන තත්වය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් විය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ නැත.

ඊයේ පැවති මෙම සාකච්ඡාව පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියාසිටියේ ජනමතයට ගරු කරමින් ආණ්ඩුව භාරදීමට සිය පක්‍ෂය සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *