මිකී ආතර් 04වනදා වැඩ භාර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලබන මස 4 වැනිදා වැඩ භාර ගනියි. ආතර් මහතා අවසන් වරට පුහුණුකරු ලෙස කටයුතු කළ පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී පුහුණුකරු ලෙස මුලින්ම කටයුතු කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ගිවිසුම් අස්සන් කළ 51 හැවිරිදි මිකී ආතර් මහතා දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරග 110 කට ක්‍රීඩාකර ඇත. ඔහු මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ හා දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

මිකී ආතර් මහතා 2016 වසරේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ පාකිස්තානය අංක එකේ ටෙස්ට් හා විස්සයි 20 කණ්ඩායම බවට පත්විය. අයි. සී. සී චැම්පියන්ස් කුසලානය පාකිස්තානය දිනා ගැනීම ඔහුගේ පුහුණුව යටතේ සිදුවුණි. ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිලේ පසුබැසීමත් සමග පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආතර්ගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමෙන් අනතුරුව වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා යටතේ ශ්‍රී ලංකා පිල සංචාර කීපයකට සහභාගි විය. ආතර් මහතා පැමිණීමත් සමග රුමේෂ් රත්නායක මහතා වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *