අනිසි බියක් එපා…රටේ සාමය ස්ථාපිතයි – ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – ජාති බේද, ආගම් ‍බේද සහ පක්ෂ බේදවලින් තොරව සැමට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යාමට සියලු විධිවිධාන යොදා ඇතිහෙයින් අනිසි බියක් ඇතිකර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.

පසුගියදා ජනාධිපතිවරණයෙන් පසුව රටේ ඇතිවූ දේශපාලන වෙනස්වීමත් සමඟ දේශපාලන පළිගැනීම්, පැහැරගැනීම් හා අනිසි කලබල ඇති විය හැකි බවට රටේ ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතුය. එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරීක්ෂාකාරීව රාජකාරී කටයුතුවල නිරතවන ලෙස වැඩ බලන පොලිස්පතිතුමන් දැනුවත් කොට ඇත.

ර‍ටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විමසිලිමත්ව ක්‍රියාකරන ලෙසටත් එම ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ අදාළ පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිවරුන් වගකිවයුතු බවටත් වැඩබලන පොලිස්පතිතුමා මඟින් උපදෙස් ලබාදී ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ දර්ශනය පරිදි ජාති බේද, ආගම් බේද සහ පක්ෂ බේදවලින් තොරව සැමට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යාමට සියලු විධිවිධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකිය.

තවද, යම් හෙයකින් කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක ‍අංශ දැනුවත්කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =