ඩි.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුවේ සියලු චෝදනා වලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිදහස් කර තිබේ.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(21) මෙම නියෝගය ලබා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35( 1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම නඩු කටයුත්තෙ විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු අවසන් කර ඒ මහතා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබිණ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අප තැබූ ඔහුගේ ඇපකරුවන් ද මුදා හැරීමටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි. ඉන් අනතුරුව නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළේය.

හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *