ජනතාව භාරදුන් වගකීම් ඉටුකිරීමට පැකිළෙන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව භාර දුන් වගකීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පැකිළෙන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැසීය.

ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දුටු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ආරම්භ කළ ගමන ඒ ආකාරයෙන්ම ගෙන ගිය හොත් රටට යහපතක් සිදු වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් එහිදී බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ප්‍රකාශ කර සිටියහ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ලෙස මම කටයුතු කරන්නේ නැහැ.ජනවරමක් ලබා දුන්නේ පැවැති තත්ත්වය වෙනස් කරන්න .එහෙම අවශ්‍ය නොවුණා නම් ජනතාවට වෙන අයකු පත් කරගන්නට තිබුණා.

මේ රටේ බහුතරයක් ජනතාව මා වෙත විශ්වාසය තැබුවා. මේ වන විට රණවිරුවන්ට චෝදනා සිදු කරමින් නඩු පැවරීමට කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වා පොලිස් නිලධාරියා පවුල පිටින්ම ජිනිවා බලා පිටත්ව ගොස් තිබෙනවා.ඔහු කටුනායක ගුවන්තොටුපළින් පිටත් වෙලා.එන් ජී ඕ වලට අවශ්‍ය ලෙසට ඉදිරි කටයුතු සිදු කරන්නට බැහැ.මේ තත්ත්වය වෙනස් විය යුතු යැයි ජනාධීපතිවරයා එහිදි කියා සිටියේය.

බෙල්ලන්විල පේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *