අවංක රාජ්‍ය සේවකයන් සුරකිනවා

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සේවයේ දී සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන යාම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අගමැති හා මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

හිතට එකඟව අවංකව රාජකාරී කරන නිලධාරින් රැකගැනීම හා ආරක්ෂා කිරීම සිය රජයේ වගකීම හා යුතුකම බවද රාජපක්ෂ මහතා කියා සිටියේය. අග්‍රාමාත්‍ය හා මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ ඊයේ පෙරවරුවේ (25) මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේදී සුබ මොහොතින් වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

තමා මුදල් අමාත්‍යධුරයට පත් වූ සිව්වන වතාව මෙය බවත්, තමා එලෙස පත් වු සෑම අවස්ථාවකම විශේෂ වූ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූ බවද පැවසූ මහින්ද රාජපක්ෂ මහතා මෙවර ද එය එසේම බව සඳහන් කළේය.

එදා වැඩ බිමක් ලෙස දිස් වූ ශ්‍රී ලංකාව යළි එම තත්ත්වයට රැගෙන ඒම සඳහා සියලු දෙනා කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවද මේ සඳහා ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය උපරිම සහයෝගය සේම වෘත්තීය ආරක්ෂාව ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

2005 වසරේ සිට 2014 වසර දක්වා වූ රජයේ කාලයේ මෙරට ආර්ථිකය ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ආර්ථික අර්බුද හමුවේ වුව ද 6.8% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට තම රජයට හැකි වූ බව ද පෙන්වා දුන්නේය. දළ දේශීය නිෂ්පාදිත අගය එම කාලයේ ඩොලර් බිලියන 24 සිට 2014 වසර වන විට ඩොලර් බිලියන 79 දක්වා ඉහළ නැංවූ බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, ඩොලර් බිලියන දෙකක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.2 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව ද පැවැසීය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 130ක ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව කියා සිටි අගමැතිවරයා පෙන්වා දුන්නේ එම කාලයේ ජීවන වියදම සහ බදුබර ඉසිලිය හැකි මට්ටමක බදුබර පැවැති බවයි. 2005 වසරේ දී දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 91%ක්ව පැවැති ණයබරතාව 2014 වසර වන විට 71% මට්ටමට අඩු කළ බව ද සිහපත් කළේ ය. එම කාලයේ පොලී අනුපාතය තනි ඉලක්කමක පවත්වාගෙ යාමට හැකි වූ බව කී අග්‍රාමාත්‍යවරයා එම කාලයේ දේශීය විදේශීය ආයෝජනය ද ඉහළ මට්ටමකට ගෙනයමින් මුළු රටම වැඩ බිමක් සේ දිස් වූ බව අවධාරණය කළේ ය.

එහෙත් 2015 වසරෙන් පසු මේ සියලු තත්ත්වයන් වෙනස්වන්නට පටන් ගත්තේ මූල්‍ය පද්ධතිය දුර්වල කරමිනි. ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ වැටිණි. ආර්ථික වර්ධන වේගය පහළ වැටිණි. පොලී අනුපාතය දෙගුණ විය. ආයෝජන පහළ වැටිණි. යම් සතුටු දායක මට්ටමක තිබූ සංචාරක ව්‍යාපාරය ද පාස්කු ප්‍රහාරයත් සමඟ බිඳ වැටුණු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් පමණක් රටේ ණය බරතාව පසුගිය වසර හතරේ රුපියල් බිලියන 1760කින් ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය.

මේ අවස්ථාවට ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, හිටපු පළාත් සභා මහජන නියෝජිතයන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =